Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - පාකිස්ථාන ටෙස්ට් ගැටුමේ සිව්වන දිනයත් වැස්සට සේදෙයි




රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පවතින තෙත සහිත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ සිව්වන දිනය අද (14) අත්හැර දැමීමට සිදු වුණා. රාවල්පිණ්ඩි ප්‍රදේශයට මේ දිනවල අධික වැසි ඇද හැලෙන අතර මේ හේතුවෙන් මෙම ටෙස්ට් තරඟයේ තුන්වන දිනය ද ඊයේ පන්දු 32 කට සීමා වුණා.

ඊයේ තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 06 ක් දැවී ලකුණු 282 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 87 ක් සහ ඩිල්රුවන් පෙරේරා ලකුණු 06 ක් ලබා සිටිනවා. 

මේ අතර, රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පහසුකම් පිළිබඳව ජාත්‍යාන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. ඔහු පවසන්නේ වර්ෂාව පවතින අවස්ථාවක ක්‍රීඩාංගණය සකස් කිරීම සඳහා ක්‍රීඩාංගණ සේවකයින් 15 ක් පමණ අඩු සංඛ්‍යාවක් සිටීම ප්‍රමාණවත් නොවන බවයි.

මෙවන් අවස්ථාවල ක්‍රීඩාංගණ සකස් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ තත්වය හාත්පසින්ම වෙනස් බවයි රොෂාන් අබේසිංහ සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණවල වර්ෂාව පවතින අවස්ථාවක ආවරණය කිරීම සහ වැසි ජලය ඉවත් කිරීම පිළිබඳ මෙරට ක්‍රීඩාංගණ සේවකයින් ලෝකයටම කදිම පාඩමක් කියා දී ඇති බව ද ඔහු සඳහන් කළා.