Friday, March 29, 2024

General line - 0115112241

“ශිල්ප දිරිය”, පාස්කු ඉරුදින ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කල වගයි (PHOTOS)




වේදනාව යනු අපව දවාලන්නක් නොව අපව දීප්තිමත් කරන්නක් බව මොහොතකට සිතුවාද? නොයෙකුත් තැලීම්, රිදීම් මැද අපට නිවැරදි මග පෙන්වන මෙය, පෙරළා නැඟී සිටීමට අවශ්‍ය අයෝමය වූ ශක්තිය සපයයි. අනේක වු දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන අප, හෙට දිනයේදී නොසැළී ජීවිතයට මුහුණ දිය යුතුය. මෙහිදී අපට එම ශක්තිය ලබා දෙන්නේ අප ලබන්නාවූ අධ්‍යාපනයයි. යම් අධ්‍යාපනයකින් වේදනාව මුදවාලන්නේ නම්, ජීවිතයේ විමුක්තිදායක මාර්ගය උදාකාර දෙන්නේ නම්, එය සැබෑම අධ්‍යාපනයක් වන්නේය. එම සැබෑ අධ්‍යාපනය සුරකිමින්, එම අධ්‍යාපනය ලැබීමේ අපේක්‍ෂාවෙන් ඇඟිලි ගනිමින් සිටිනා සිසු දරු දැරියන් වෙත ශක්තිය සපයමින්, පසුගිය පාස්කු ඉරුදින කටුවාපිටිය සහ කොච්චිකඬේ දේවස්ථාන වලදී සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත්වූ දරුවන් වෙනුවෙන් ‘ශිල්ප දිරිය’ ශිෂ්‍යත්ව ප‍්‍රදානය පසුගිය දෙසැම්බර් මස 01 වන දින කොළඹ ෂැංග‍්‍රිලා හෝටලෙයේදී සිදුවිය. ළමුන් තුළ ධෛර්ය සම්පන්න බවක් ඇතිකරමින් ඔවුනට සිය අනාගත සිහිනයන් හඹා යාම සඳහා වූ නව පෙළඹවීමක් ඇති කරවීමේ අරමුණින් මෙම දිගුකාලීන ශිෂ්‍යත්ව වැඩසටහන කොළඹ අගරදගුරු පදවි එඬේරාණන් වන අති උතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. මෙම සුවිශේෂී සමාජ සත්කාර්යය කොළඹ අගරදගුරු පදවි සමාජ සේවා ආයතනය වන සෙත් සරණ - කරිටාස් කොළඹ ආයතනයේ මෙහෙයවීමෙන් සහ ඩයලොග් පදනමේ Rally to Care පදනමේ හා අගරදගුරු අරමුදලේ දායකත්වයෙන් සිදුවූවකි.

පැමිණි දරුවන් ඇතුලූ ආරාධිතයන් වෙත මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් “දෙවියන් වහන්සේ ඔබ මවා ඇත්තේ විශේෂිත පුද්ගලයෙකු ලෙසයි. ඔබගේම හැඩරුව‚ ගතිගුණ‚ සහජ දක්‍ෂතා සතු තවත් දරුවෙකු මෙලොව සොයාගත නොහැකිය. එයින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ ඔබ විශේෂ පුද්ගලයකු ලෙස මවා‚ ඔබට ආවේණික උතුම් කැඳවීමක් ලබා දී ඇති බවයි. එම කැඳවීම කුමක්දැයි විශ්වාසය තුළ සොයා ගනිමින් ඔබට උන් වහන්සේ දී ඇති දක්‍ෂතා පාවිච්චි කරමින්‚ ඔබගේ ජීවිතය ඔබටත් මිනිස් සමාජයටත් ආශිර්වාදයක් වන ආකාරයට සකසා ගන්නට හැකි වන්නේ ඔබටමයි. සිදුවූ අකරතැබ්බය ඔබගේ ගමන් මගට යම් බාධාවක් වූයේ නම් ඔබගේ හිතමිතුරන්ගේ සහෝදරත්වය තුළ ඔබට ලැබෙන මේ ආධාරය ප‍්‍රයෝජනයට ගනිමින් දෙවියන් වහන්සේගෙන්ම ලැබෙන තිළිණයක් යැයි සලකා ඔබගේ ජිවිතය ආශිර්වාදාත්මක ජීවිතයක් බවට හරවා ගන්නට සෑම උත්සාහයක්ම දරන්න. එසේ කළහොත් ඔබට ඔබගේ අනාගත ජයග‍්‍රාහී ආශිර්වාදාත්මක අනාගතයක් බවට හරවා ගැනීමට හැක් වන්නේ ය. අපගේ ඉල්ලීමට පිළිතුරු දී ආරම්භ කල අරමුදලට දායකත්වය දුන් සැමට ස්තූතියි!” යනුවෙන් පැවසීය.

එක් මොහොතකින් සුණු විසුණු වූ බලාපොරොත්තු තුළින් නැවත ජීවිතය ඇරඹීම සඳහා අධ්‍යාපනය සතු බලය සහ ශක්තිය පහදා දෙමින් අදහස් දැක්වූ සෙත්සරණ - කරිටාස් කොළඹ ආයතනයේ අධ්‍යක්‍ෂ ගරු ලෝරන්ස් රාමනායක පියතුමන්‚ “දරුවන් යහපත් පුරවැසියන් ලෙස ගොඩනගන්නට දායකවීම අපගේ සිහිනයයි. ඔබ ව්‍යසනයට පත්වූ බව සැබෑවය. නමුත් ඒ තුළ ඔබ දේව සංරක්‍ෂණය අත්දුටු බව සිහියට නගන්න. එබැවින් ඔබ තුළ ජනිත වුනාවූ මේ නව බලාපොරොත්තුව වඩාත් අර්ථවත්ව ඔබගේ ජීවිතය තුළින් විදහා දක්වන්නට මෙය අධ්‍යාපනයට අත්වැලක් වේ යයි මම සිතමි. ..... අධ්‍යාපනය කියන්නේ නොදන්නා දේ දැනගැනීමට පමණක් නොවේ. වැරදි දේ නිවැරදි කිරීමද සිදුවේ. එබැවින් මෙම අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන් දේව ආදරයේ තිළිණයක් ලෙස ඔබට ලැබුණු බව සිහියේ තබා ගනිමින්‚ ඒ තුළින් ප‍්‍රයෝජන ගෙන ඔබ උපන් දේශයට ආලෝකයක් ගෙන දෙන දරුවන් මෙන් ජීවත් වන්නටත්‚ පුරවැසියන් ලෙස වගකීමෙන් වැඩ කරන්නටත්‚ ශුද්ධාත්මයාණන් වහන්සේගේ සත්වරම තුල අප ජේසු සමිඳුන්ගේ ආදරයත් කරුණාවත්‚ ආශිර්වාදයත් ඔබටත් ඔබ පවුලේ සැමටත් ලැබේවායි නිරතුරු ඔබ සියලූ දෙනා වෙනුවෙන් දෙවිඳුන් යදින අතර‚ මෙම සුවිශේෂී කාර්යයට දායක වූ සැමටද දේව ආශිර්වාදය ඉල්ලා යාඥා කරමි’’ යනුවෙන් පැවසීය.

ඩයලොග් ආසිආටා පදනම වෙනුවෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසිආටාහි සමූහ ප‍්‍රධාන විධායක සුපුන් වීරසිහංහ මහතා “වඩා පැහැබර අනාගතයක් වෙනුවෙන් මුළු මහත් ලෝකයේම බලාපොරොත්තුව වන්නේ දරුවන්ය. ඔවුන්ගේ ජීවිත සාර්ථකත්වයේ හිණිපෙත්ත කරා ළඟා කරවීමේ අපගේ අරමුණ වෙත යාමට ඇති මාර්ගය අධ්‍යාපනයයි. දක්‍ෂතාවලින් පිරිපුන් දරුවන් තවදුරටත් විශිෂ්ටත්වය කරා රැගෙන යාමට මෙම වැඩපිළවෙල තුළින් අපි අපේක්‍ෂා කරන අතර‚ බලාපොරොත්තු සහ අවස්ථා සහිත දීප්තිමත් අනාගතයක් ඔවුන් ඉදිරියේ ඇති බවට අප සහතික වන්නෙමු.’’ යනුවෙන් පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ‘‘ඩයලොග් පදනම ගෙන එන Rally to Care වැඩසටහන හරහා‚ විපතට පත් දරුවන් වෙනුවෙන් දීර්ඝ කාලීන අධ්‍යාපන අවකාශ සලසා දිමේ අපගේ මෙහෙවර යටතේ මෙම ශිෂ්‍යත් පිරිනැමීම හඳුන්වා දන ලදී. මෙම මහඟු සත්කාර්යය වෙනුවෙන් එක්සිත්ව එක්සත් වූ ඩයලොග් පාරිභෝගිකයන්‚ දේශීය මෙන්ම විදේශීය තනි පුද්ගල දානපතියන්‚ ව්‍යාපාරික හවුල්කරුවන් සහ සමාගම්වල නිර්ලෝභී දායකත්වය සමඟින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම සදහා සිය නොමසුරු දායකත්වය ලබාදුන් ඔවුන් සියලූ දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පරිනමන්නෙමු.’’ යනුවෙන් පැවසීය.

මෙම ‘ශිල්ප දිරිය’ දිගුකාලීන ශිෂ්‍යත්ව වැඩසටහන මගින්‚ කටුවාපිටිය දේවස්ථානයේදී පීඩාවට පත් පාසල් ළමුන් 185 දෙනෙකු සහ කොච්චිකඬේ දේවස්ථානයේදී පීඩාවට පත් පාසල් ළමුන් 102 දෙනෙකු වශයෙන් සමස්ත වශයෙන් පාසල් ළමුන් 287 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීය. මූලික වශයෙන්‚ මෙම ශිෂ්‍යත්වලාභීන්ගේ වයස අවුරුදු 19 සම්පූර්ණ වන තෙක් අඛණ්ඩව මෙම ශිෂ්‍යත්ව ඔවුන් වෙත හිමිවන අතර‚ අදාළ සිසු සිසුවියන්ගේ වයස් අනුව පිරිනමනු ලබන මුදල් ප‍්‍රමාණය තීරණය වේ. එලෙස ප‍්‍රදානය කරනු ලබන මුදල් අදාළ සිසු සිසුවියන්ගේ නමින් විවෘත කරනු ලැබූ ගිණුමකට මාසිකව (සෑම මසකම 15 වැනි දින) බැර කරනු ලැබේ.

මෙයට අමතරව Rally to Care අරමුදල හරහා මඩකලපුවේ සිසුන් 70 දෙනෙකුට තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා මීට පෙර කටයුතු ආරම්භ කරන ලද අතර‚ කටුවාපිටියේ සහ මඩකලපුවේ විපතටපත් දරුවන් සඳහා ලිපි ද‍්‍රව්‍ය සහිත පාසල් බෑග් ලබා දෙන ලදී.

Rally to Care අරමුදල සදහා World Vision Lanka සර්වෝදය‚ My Doctor‚ Vision Care සහ රත්මලාන Audiology Center හවුල්කරුවන් ලෙස එක්වෙයි. එම සහන ප‍්‍රතිපාදන කටයුතු හා සමගාමීව මෙම ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට බාහීර රෝගී සහය‚ බරපතල තුවාල ලත් අයට ඇවැසි සහය‚ දරුවන් හට තිරසාර අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ පවුල් 250කට අධික සංඛ්‍යාවකට මනෝ සමාජීය පුනරුත්ථාපන සහය ලබාදීමේ අරමුණු සහිතව මෙහෙයුම් කටයුතු සිදුකෙරෙයි. මෙම Rally to Care පිළිබඳ වැඩි විස්තර සහ නවතම තොරතුරු http://dialogfoundation.org/rallytocare ඔස්සේ ලබාගත හැකිය