Wednesday, April 24, 2024

General line - 0115112241

අවසන් තරගයේ විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශූරතාවය දිනා ගනී




බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඊයේ (21) සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලකුණු 77 කින් පරාජය කරමින්. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී ලකුණු 265 ක් රැස්කළා. මෙහිදී ආරම්භක පිතිකරුවන් වන නවෝද් පරණවිතාන ලකුණු 108 ක් සහ කමිල් නිශාර ලකුණු 69 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වුවා.

ලකුණු 266 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට පන්දුවාර 43 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 188 ක් පමණයි.

පන්දු යැවීමේදී කවිඳු නදීශාන් කඩුළු 03 ක් සහ අශේන් ඩැනියෙල්, සුධීර තිලකරත්න සහ නවෝද් පරණවිතාන කඩුළු 02 බැගින් දවා ගත්තා. 

අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ නවෝද් පරණවිතානයි.

මෙම තුන්කොන් එක්දින තරගාවලිය ශ‍්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර පැවැත්වුණා.