Thursday, April 25, 2024

General line - 0115112241

චෝදනාවට ලක් වූ කී‍්‍රඩකයින්ගේ අභියාචනයට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබුණු ප‍්‍රතිචාරය




අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකු හෙට්ටිගේ යන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයින්ට එල්ල වී ඇති තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ දීර්ඝ කීරීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය අකමැත්ත පළ කර තිබෙනවා.

ඒ ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ධනාත්මක පිළිතුරක් නොලැබීම හේතුවෙන්. සිද්ධීන් කිහිපයක් පාදක කර ගනිමින් එල්ල කර ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පමණයි.

කෙසේ වෙතත් චෝදනාවට ලක්ව සිටින මෙම ක‍්‍රීඩකයින් සිය නීතීඥයින් මාර්ගයෙන් ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත ඉකුත්දා අභියාචනයක්ද ඉදිරිපත් කළා. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශීය මට්ටමින් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

එම අභියාචනයට ප‍්‍රතිචාර දක්වමින් ක‍්‍රීඩා අමාත්‍යංශය ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍රගේ අත්සනින් යුතුව ලිපියක් අදාළ ක‍්‍රීඩකයින්ගේ නීතිඥයින් වෙතද මේ වනවිට යොමු කර තිබෙනවා. 

සිය අයිතින් කඩකිරිම සම්බන්යෙන් එම නීතිඥයින් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා එහි සඳහන් කර ඇත්තේ මේ පිළිබදව රජයේ අවධානය යොමු කිරිම සඳහා තමන් නව ක්‍රීඩා  අමාත්‍යවරයා සමග කටයුතු කරමින් සිටින බවයි. 

එමෙන්ම මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් එම ක‍්‍රීඩකයින්  සිදුකල සේවය සහ සහයෝගයද අගය කරන බවයි කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ එම ලිපියේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් එම ක‍්‍රීඩකයින්ගේ ඉල්ලීමට ප‍්‍රතිචාරයක් දැක්වීමට යම් කාලයක් ගතවනු ඇති බවද ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා සිය ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම ක‍්‍රීඩකයින්ගේ නිතීඥයින් වෙත යොමු කළ මෙම ලිපිය අනතුරුව එම නීතිඥයින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයටද ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඊට ප‍්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පවසා ඇත්තේ ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් මෙම සිද්ධිය පිළිබද ධනාත්මක පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම පරීක්ෂණවල කාලය දීර්ඝ කිරීමට අකමැත්ත පළ කරන බවයි.

ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම ක‍්‍රීඩකයින් වෙත යොමු කළ ලිපිය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ක‍්‍රියාපටිපාටියට පටහැනිව ඉදිරිපත්කර ඇති බවද එම කවුන්සිලය සඳහන් කර සිටිනවා.