Friday, March 29, 2024

General line - 0115112241

කන්දේ විහාරය වෙත එන බැතිමතුන්ගෙන් ඉල්ලීමක්

තුසිත කුමාර




අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරය වැඳ පුදා ගැනීමට නව වසරේ ජනවාරි පළමු වෙනිදා සිට දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන් විහාර මළුව තුළ මැටි පහන් දැල්වීමට රැගෙන නොඑන ලෙසත්, දෙවියන් උදෙසා  තබන පළතුරු පූජා සඳහා තැඹිලි රැගෙන ඒමෙන් වළකින ලෙසත් ඓතිහාසික කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී විනයාචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍ය විපුලසාර නාහිමියන්  විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29) සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළා.

විහාරස්ථානයේ බැතිමතුන් සඳහා පහන් දැල්වීමට පහන් දහස්ගණනක පහන් වැටක් තිබෙන අතර නව වසරේ මාර්තු මාසයට පෙර පහන් දෙදහස් පන්සීයක් එකවර දැල්වීමට හැකි ස්ථිර පහන් වැටක් මේ වන විට සකස් වෙමින් පවතින බවත් පෙන්වා දුන්නා.

අවිධිමත් ලෙස මැටි පහන් දැල්වීමෙන් ඉවතලන මැටි පහන් මගින් විශාල ලෙස ඩෙංගු මදුරු කීටයන් වර්ධනය වී ඇති අතර පූජාවට තබන තැඹිලි පානය කර කසල බදුන්වල දැමීමෙන් ද ඒ හා සමාන අවදානමක් මතු වී ඇති බවත් නාහිමියන් පැවසුවා. 

පසුගිය දෙසැම්බර් මස 06 වැනිදා කන්දේ විහාරය පූජා භූමිය තුළ ස්ථාන 12ක ඩෙංගු කීට විද්‍යා සමීක්ෂණයක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මඟින් සිදු කර ඒ පිළිබඳ වාර්තාවක් කන්දේ විහාරාධිපති නාහිමියන්ට ලිඛිතව එවා ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

මෙම තත්ත්වයට හේතුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කන්දේ විහාරය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් රැගෙන එන පොලිතීන් බෑග්, මැටි පහන්, තැඹිලි ඇතුළු ද්‍රව්‍ය භාවිතා කර අවිධිමත්ව බැහැර කිරීම බවත්, ඒ තුළින් කන්දේ විහාර භූමිය ඩෙංගු කීටයන් සහිත ස්ථානයක් බවත් කීට විද්‍යාඥයන් හඳුනාගෙන ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.