Friday, March 29, 2024

General line - 0115112241

ඉරාන ප්‍රහාරයක් ගැන අමෙරිකාව බියෙන්




හමුදා ප්‍රධානී මේජර් ජනරාල් කසීම් සුලෙයිමානිගේ ඝාතනයට එකට එක කිරීමක් ලෙස සිය හමුදා ප්‍රධානියෙකු ඝාතනය කිරීමට ඉරානය උත්සහ දරනු ඇතැයි අමෙරිකාව බිය පළ කරනවා. ඒ අනුව දින 02 ක් ඇතුළත ඉරානය කුමන ලෙසකින් හෝ ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවටයි අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අගවා ඇත්තේ.

එහෙත්, ඉරානයේ සූදානම අගනුවර ආරක්ෂාව තහවුරු කිරීම ද නැතහොත් ප්‍රහාර එල්ල කිරීම ද යන්න අමෙරිකානු බුද්ධි අංශ නිශ්චිතව අනාවරණ කරගෙන නැහැ. කෙසේවෙතත් ඇතිවිය හැකි ඕනෑම අවධානමකට මුහුණ දීම සඳහා අමෙරිකාව සිය බලකඳවුරු කිහිපයක් මේවනවිටත් සූදානම් කර අවසන්.  

විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකාව ඊ-52 වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානා 06ක් ඉන්දියානු සාගරයේ පිහිටි ඩියාගෝ ගාෂියා දූපත වෙත ද පිටත් කර එවා ඇති බවයි. මෙම ඩියාගෝ ගාෂියා දූපත ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 1925ක් දුරින් පිහිටා තිබෙනවා. 
මේ අතර ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ දේහය භූමදාන කටයුතු සඳහා ඔහුගේ උපන් ගම වන කර්මන් වෙත අද රැගෙන ආවා. මෙම අවස්ථාව සඳහා ඉරාන වැසියන් මිලියන ගණනක් සහභාගී වූ අතර  කර්මන් වෙත ළගාවිය හැකි සියලු මාර්ග ඉරාන වැසියන්ගෙන් පිරී තිබුණා.

එහිදී සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 40දෙනෙකු මියගොස් තවත් 213 දෙනෙකු  තුවාල ලබා තිබෙනවා. කෙසේවෙතත් මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ දේහය භූමදාන කටයුතු කල්දැමුණු බව ඇතැම් ඉරාන මාධ්‍ය වාර්තා කළත් මෙතෙක් කිසිඳු පාර්ශවයක් ඒ බව තහවුරු කර නැහැ.