Friday, March 29, 2024

General line - 0115112241

ස්වයං රැකියා නිෂ්පාදන අලෙවි කිරීමට රජයෙන් අලුත් පියවරක්




සමෘද්ධි ප‍්‍රතිලාභය ලබන ස්වයං රැකියාවල නියුතු වූවන්ගේ නිෂ්පාදන අන්තර් ජාලය හරහා අලෙවි කිරීමට නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

මෙම නිෂ්පාදන සඳහා වඩා විශාල වෙළදපොලක් සකස් කරදීම මෙමගින් අපේක්‍ෂිතයි. daraz.lk  ආයතනය සමග එක්ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂණ අමාත්‍යාංශය ව්‍යපෘතිය මෙහෙය වනවා.

ඒ අනුව daraz.lk  වෙබ් අඩවිය හරහා සමෘද්ධි ප‍්‍රතිලාභය ලබන ස්වයං රැකියාවල නියුතු වූවන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයන් අතර ප‍්‍රචලිත කිරීමට නියමිතයි. මේ සඳහා ඉදිරියේදී තවත් වෙබ් අඩවි ද එක් කර ගැනීමට අපේක්‍ෂා කෙරෙනවා.

ශී‍්‍ර ලංකාවේ දැනට සිටින සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 18 ලක්‍ෂ 10,000 කට ආසන්නයි. සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගෙන් සමන්විත ව්‍යාපාරික සංගම් 331ක්ද පිහිටුවා තිබෙනවා. කෙසේවෙතත් ඒවායෙන් කි‍්‍රයාකාරී මට්ටමේ පවතින්නේ සංගම් 150 කට ආසන්න ප‍්‍රමාණයක් පමණයි.

සෙසු ව්‍යාපාරික සංගම්ද කි‍්‍රයාකාරී කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂණ අමාත්‍යාංශය පැවසුවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය යටතේ මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා.