Thursday, April 25, 2024

General line - 0115112241

හැරී සහ මේගන් ගැන තීරණයකට රජ පවුලේ සාමාජිකයින් එක්වෙයි




එංගලන්තයේ සසෙක්ක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් මාකල්ගේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රජ පවුලේ ජ්‍යෙෂ්ඨයින් එක්ව සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ එම සාකච්ඡා අද (13) පස්වරුවේ ආරම්භ වන බවයි.

මෙම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින, චාල්ස් කුමරු, විලියම් කුමරු මේ සඳහා එක්වන බව සඳහන්. අදාළ සාකච්ඡා සඳහා සසෙක්ස් පාර්ශවයෙන් හැරී කුමරු සහාභාගී වනවා. කැනඩාවේ රැඳී සිටින මේගන් මාකල්, දුරකතනය හරහා එම සාකච්ඡා සඳහා එක්වනු ඇති. හැරී කුමරු සහ මේගන් මාකල්ගේ ඉදිරි කටයුතු සහ ඔවුන් රජ පවුල සමග ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. කෙසේවෙතත්, මෙම සාකච්ඡාව රජපවුලේ ඉතිහාසයට එක්වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ. 

තමන් බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත්වී ස්වාධීන වන බව හැරී කුමරු සහ මේගන් මාකල් ඉකුත් දා ප්‍රකාශයට පත් කළා. අනපේක්ෂිත මෙම ප්‍රකාශය හමුවේ රජ පවුලේ සාමාජිකයින් පසුවන්නේ මහත් කණගාටුවෙන්.