Saturday, April 20, 2024

General line - 0115112241

රටේ ඇති ඉන්ධන සංචිත ගැන හෙළිකරයි : ඉන්ධන රැඟත් නෞකා මේ සතියේ දිවයිනට 




ඉදිරි දින 19 ක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ශ්‍රී ලංකාව සතුව ඇති බව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවකදී අනාවරණය වී තිබෙනවා.

දැනට උද්ගතවී ඇති ගල්ෆ් කලාපයේ අර්බුදය හරහා ඉරානය සහ ඇමරිකාව අතර යුධ තත්ත්වයක් පැන නැගුනහොත් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුමට බලපෑමක් එල්ල වියහැකිද යන්න පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සමාලෝචනය කෙරුණ අතර කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයුමට අවශ්‍ය පරිදි  ඉන්ධන තොග පවතින බවත් ඉදිරි කාලය තුලදී ඉන්ධන රැගත් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැහැදිළි කර තිබෙනවා.

ඒ අනුව දින 19 කට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතී. එමෙන්ම මෙම මස 17 සහ 18 යන දෙදින තුළ ඉන්ධන ටොන් 16.000ක් මෙම මස 24 සහ 25 දෙදින තුළ ඉන්ධන ටොන් 15,000 ක්ද රැගත් නෞකා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. එමෙන්ම යුධ ගැටුමක් ඇතිවුවහොත් ගල්ෆ් කලාපය තුළ  නාවික ගමනාගමනයට අපහසුතාවක් ඇතිවිය හැකි බැවින් සිංගප්පූරුව සහ මැලේසියාවෙන් ඉන්ධන තොග ලබාගැනීමටද ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට සැලසුම් කර ඇති බවයි මෙම සාකච්ජාවේදී කරුණු අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම හම්බන්තොට වරාය ආශ්‍රිතව පවතින ඉන්ධන ටොන් 71,000 ක් ගබඩාකර තබාගත හැකි ඉන්ධන ටැංකි අමතර ඉන්ධන ධාරිතාවන් රඳවා ගැනීම සදහා භාවිත කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත. දැනට එම ටැංකි සංකීර්ණය චීනය සතුවන අතර චින බලධාරීන්  සමග සාකච්ඡා කර අමතර ඉන්ධන තොග පිරවීම එම පාර්ශවය මගින් හෝ සිදු කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

කෙසේ වුවද ඇතැම් පිරිස් ඉන්ධන හිඟයක් ඇති වෙතැයි නිරන්තරයෙන් අමාත්‍යාංශයෙන් විමසීම් කරන නමුත් කිසිදු ඉන්ධන හිගයක් ඇති නොවන අතර ඉදිරි දින 19 කට අවශ්‍ය තරම් ඉන්ධන තොග මේ වනවිටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතීන බවයි අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.

දැනට පවතින තොග අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ටොන් 47947 ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ටොන් 16,000 ක්, ලංකා ඔටෝ ඩීසල් ටොන් 111957 ක්, සුපර් ඩීසල් ටොන් 4463 ක්, ගුවන් යානා ඉන්ධන ටොන් 38086ක්, දැවි තෙල් ටොන් 70130 ක්ද ව‍ශයෙන් ගබඩා කර තිබේ. මෙම ප්‍රමාණයන්ට ඉදිරියේදී  දිනයිනට ලැබිමට නියමිත තොග ඇතුලත් නැත.

මේ වනවිට පවතින ඛනිජ තෙල් තොග පිළිබදව අද (14) පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියා.