Thursday, April 25, 2024

General line - 0115112241

බැඳුම්කර විගණන වාර්තා මන්ත්‍රිවරුන්ට ලබා දීමේ අවසන් තීරණය 21 වෙනිදා 




ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදුකරන ලද වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත ලබා දීම සම්බන්ධයෙන් ලබන 21 වෙනිදා ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී තීරණයක් ගනු ලබන බව කථානායක කරු ජයසූරිය පවසනවා.

මෙම වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලැබී ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් මත ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත නිකුත් කිරීම අත්හිටුවීමට කථානායකතුමා පියවර ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායකයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමේදී කරුණු මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු එම විගණන වාර්තා හැකි ඉක්මනින් තමන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා. එම වෝහාරික විගණන වාර්තා තුළ වසර 2015 ‍ට පෙර කාලයේදී සිදුවූ බැඳුම්කර නිකුතු පිළිබඳ තොරතුරු ද ඇතුළත්ව පවතින බැවින් එම තොරතුරු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා අවශ්‍ය බව මෙහිදී මන්ත්‍රිවරු පෙන්වා දී ඇත.

කථානායක කරු ජයසුරිය මහතා මේ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට පෙර අද දිනයේදී නීතිපති දප්පුල ද ලිවේරා සමග පාර්ලිමේන්තුවේදි මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම් ඇරඹෙන ලබන 21 වනදායින් පසු කථානායකතුමා තම තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.