Thursday, April 25, 2024

General line - 0115112241

ලැව්ගින්නෙන් පීඩා විඳි ඕස්ට්‍රේලියාවට ගංවතුර බියක් (VIDEO)




මාස 03 කට අධික කාලයක් පුරා ලැව්ගිනිවලින් දැවුණු ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළබඩ කලාපයට දරුණු වර්ෂාපතනයක් හා අකුණු බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ලැව්ගිනි පැතිර තිබූ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඞ් යන ප්‍රාන්තවලට මෙලෙස වර්ෂාව සහ කුණාටු තත්ත්වයක් බලපා ඇති බවයි. වර්ෂාව හේතුවෙන් ලැව්ගිනි පාලනය වුවද, එම ප්‍රාන්තවලට ජල ගැලීම් තත්ත්වයක බලපෑම් එල්ල විය හැකි බවටයි බලධාරීන් අනතුරු ඇගවා ඇත්තේ. 

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තයේ මාර්ග රැසක් වසා දමා තිබෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල විදුලි බල සැපයුම ද බිඳ වැටී ඇතැයි සඳහන්.  

ඇද හැලෙන වර්ෂාව සම්බන්ධයෙන් ලැව්ගිනි පාලනයට එක්ව සිටි සහන කණ්ඩායම් සිය සතුට ප්‍රකාශ කරනවා. ඔවුන් පවසන්නේ වර්ෂාව හේතුවෙන් ලැව්ගිනි මදක් පාලනය වී ඇති බවයි. එසේම ලැව්ගිනිවලට මැදිව පීඩාවට පත්ව සිටි කෝලා ඇතුළු විවිධ සතුන් වර්ෂාව නිසා ජලය පිරී ඇති ස්ථාන වෙත පැමිණ ජලය පානය කරන අයුරු දැක්වෙන ඡායාරූප ද විදෙස් මාධ්‍යවල පළවී තිබුණා. 

වර්ෂාව නිසා ලැබී ඇති මෙම කාලය ප්‍රයෝජනයට ගනිමින් ලැව්ගිනි වලින් සුරක්ෂිත වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසයි බලධාරීන් අදාළ ප්‍රාන්තවල වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.