Friday, April 19, 2024

General line - 0115112241

පොලිස් මෙහෙයුමක් අතරවාරයේදී තුවක්කුවක් පත්තුවී හිමිනමක් අපවත්වෙයි




හුංගම ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරියෙක් අත තිබු ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් ඒ අසල මාර්ගයේ වාහනයක ගමන් කරමින් සිටි හිමිනමක් අපවත්වී තිබෙනවා. 

පොලිසිය සඳහන් කලේ මෙලෙස අපවත්වී ඇත්තේ හාතාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩසිටි 21 හැවිරිදි හිමිනමක් බවයි.

හුංගම පොලිස් වසමේ, හාතාගල - දෙණියාය මාර්ගයේ යතුරු පැදියකින් මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු යතුරු පැදියක් නතර කිරීමට අණ කිරීමේදී ඔහු විසින් පොලිස් අණ නොතකා පළා ගොස් ඇත.

පොලිස් නිලධාරීන් දෙදෙනා එම යතුරුපැදිය පසු පස හඹා ගොස් එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට උත්සහ දරා ඇත. ඒ අවස්ථාවේදී සැකකරු සහ පොලිස් නිලධාරීන් අතර පොරබැදීමක් සිදුව ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙක් අත තිබු ගිනි අවියක් ක්‍රියාත්මක වී ඒ අසලින් ගමන් ගත් වෑන් රථයක් තුල සිටි හිමිනමට වෙඩි වැදී ඇත.

වෙඩි වැදුණු හිමිනම අගුණකොළපැලැස්ස රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇත.

පළා යාමට තැත් කරන ලද සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙරොයින් ජාවාරම්කරුවෙක් බවට පොලිසියට තොරතුරු ලැබී තිබු බවයි වාර්තා වන්නේ.