Friday, April 19, 2024

General line - 0115112241

රටම කතාවෙන "කුසල් ජනිත්" ගැන ඇමති ඩලස් ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසයි




සිම්බාබ්වේ තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට නම් නොකිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ක්‍රිකට් බලධාරීන් ගෙන් කරුණු විමසා තිබෙනවා.

සිම්බාබ්වේ සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා කුසල් ජනිත් පෙරේරා නම් නොකිරීම සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රීඩා විචාරකයින් ක්‍රිකට් තේරීම් කමිටුව දැඩි දෝෂ දර්ශනයට ලක් කරනු ලැබුවා. 

මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා හා ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා යන බළධාරීන් වහාම ගෙන්වා දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කළ බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

මෙම සිදුවීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම සියලු මාධ්‍යවල පවා විවේචනයට ලක්වීමට හේතු වූ කරුණු විමසූ අමාත්‍යවරයා මින් ඉදිරියට සුලු හෝ වැරැද්දක් සිදු නොවීමට වගබලා ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබාදී තිබෙනවා. ක්‍රිකට් වැනි ජනප්‍රිය ක්‍රීඩාවක් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සුදුසු මෙන්ම සංවේදී කාරණා පිළිබදව ද සොයා බලා නිවැරදිම තීන්දුවකට ඒමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා එසේ නොවීමෙන් සිදුවන හානියේ බරපතලකම ගැනද ක්‍රිකට් බලධාරීන්ට පැහැදිලි කරදී තිබෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී නොදැවී ලකුණු 153 ක් වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා ගේ ඉනිම 2019 වර්ෂයේ හොදම ටෙස්ට් ඉනිම් 10 අතරට තෝරා ගනු ලැබුවා.