Thursday, March 28, 2024

General line - 0115112241

"කොරෝනා වෛරසය" මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බවට හෙළිවෙයි : ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් කැඳවයි




චීනයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි කමිටු රැස්වීමක් කැඳවා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජාත්‍යන්තර සෞඛ්‍ය රේගුලාසි යටතේ මෙම හදිසි කමිටු රැස්වීම කැඳවා ඇත.

ඒ අනුව එම රැස්වීම ලබන 22 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී පැවැත්වෙනු ඇති.

මේ අතර චීනයේ සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ නව කෝරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වැලඳෙන බවට තහවුරුවී ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීමේ අවධානමක් ඇති බවයි චීන බලධාරින් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටින්නේ.

ජනවාරි මස 25 වෙනිදාට යෙදෙන චීනයේ නව අවුරුදු උදාවීමේ සැණකෙළිය නැරඹිමේ අරමුණින් ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් පිරිසක් මේ වර්ෂයේදී චීනයට පැමිණෙන බැවින් මෙම වෛරසය ලොවපුරා පැතිරි යාමේ අවධානමක් මතුවී තිබෙන බවයි චීන බලධාරින් සඳහන් කරන්නේ.

මේ අතර කොරෝනා වෛරසය වැළදුණු රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබූ සෞඛ්‍ය සේවකයින්ටද එම වෛරසය වැලදී ඇති බවයි චීන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

උහාන් ප්‍රාන්තයෙන් පළමුව වාර්තාවූ මෙම වෛරසය වැලඳීමෙන් මේ වන විට චීනය පුරා රෝගීන් 217ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 03 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

චීනයට අමතරව දකුණු කොරියාව, ජපානය සහ තායිලන්තයෙන් මේ වන විට කොරෝනා වෛරසය වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය සංවිධාන වාර්තා කර සිටියේ.