Friday, April 19, 2024

General line - 0115112241

උතුරු කොරියාව චීන සංචාරකයින්ට දොර වසයි : නව කොරෝනා වෛරසය අමෙරිකාවට රිංගයි (PHOTOS)




චීනයේ සිට තම රටට සංචාරකයින්ට ඇතුල් වීම තහනම් කරමින් උතුරු කොරියාව නියෝගයක් පනවා තිබෙනවා. ඒ චීනයේ පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදුනු බිංජින් සරසවියේ ප්‍රධාන වෛද්‍යවරයෙක් වන Wang Guangfa ද එම වෛරසයට ගොදුරු වී ඇති බව අද තහවුරු කර සිටියා.

නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර කළ වෛද්‍ය සේවකයින් 20 දෙනෙකු පමණ එම වෛරසයට ගොදුරුවී ඇති බවයි චීන සෞඛ්‍ය බලධාරින් තහවුරු කර සිටියේ.

චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසයට මේ වන විට පුද්ගලයින් 325 දෙනෙක් ගොදුරුවි තිබෙනවා. ජිවිතක්ෂයට පත්වු රෝගීන් සංඛ්‍යාව 06ක් වනවා.

මින් පෙර වාර්තා නොවූ වෛරසයක් වන මෙය සිඝ්‍රයෙන් මිනිසුන් අතරේ සම්ප්‍රේෂණය වන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වාර්තා කර සිටියා.

මෙම රෝගය මුලින්ම වාර්තා වූ චීනයේ උහාන් ප්‍රාන්තයේ ජිවත් වන මිලියන 11ක් වන ජනතාවට එම ප්‍රාන්තයෙන් ඉවත්ව යාමෙන් වළකින්නැයි චීන සෞඛ්‍ය බලධාරින් විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර චීනය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තයට අමතරව අමෙරිකාවෙන් සහ තායිලන්තයෙන් ද නව කොරෝනා වෛරසය වැළදුණු රෝගින් වාර්තා වී තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා කර සිටියා.

නව කොරෝනා වෛරසය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් පිලිපීනය සහ ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරින් විසින් මේ වන විට අවධානයෙන් පසුවනවා.

මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් චීනයේ සිට පැමිණි අය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව, අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක ගුවන් තොටුපළවල් සිය රටට ඇතුල්වන ගුවන් මගින් විමර්ශනය කිරීමේ ක්‍රමවේදයන් ආරම්භ කර තිබෙනවා.

චිනයයේ ඇතුළු රටවල් කිහිපයකින් වාර්තා වන මෙම වෛරසය ලොවපුරා පැතිරියාමේ අවධානමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අද දිනයේදී විශේෂ කමිටු රැස්වීමක් ද කැඳවා තිබෙනවා.