Thursday, April 25, 2024

General line - 0115112241

රැකියා ලක්ෂයේ වැඩසටහන ඇරඹේ : අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පෙබරවාරි 15




අඩු ආදායම් ලබන පවුල්වල සාමාජිකයින් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඒ අනුව බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් පසුගිය ජනවාරි මස 20 වෙනිදා පුවත්පත්වල පලකරන ලද දැන්වීම් ආකෘතියට අනුව සකස් කරන ලද අයදුම්පතක් ලබන පෙබරවාරි මස 15 වෙනිදා වන විට තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට භාර දීමට අයැදුම්කරුවන් පියවර ගතයුතුව ඇත.

එලෙස භාර දෙන අයදුම්පත්‍ර ග්‍රාම නිලධාරිවරයා විසින් තොරතුරු සහතික කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 20 වෙනිදා වන විට තමන්ගේ ප්‍රදේශය භාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ යුතු බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.

ග්‍රාම නිලධාරිවරයා විසින් තමන්ට ලබාදෙන අයදුම් පත්‍රයන්හි තොරතුරු සනාථ කර ගැනීමේ ක්‍රියාවලියේදී බිම් මට්ටමේ සිටින සමෘද්ධි නිලධාරින්, සෙසු නිලධාරින් ගෙන්, පුජක පක්ෂයෙන් සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයාගෙන් විමසිය හැකිය. යම් හෙයකින් වැරදි තොරතුරු සනාථ කිරීමක් සිදුකර තිබුණහොත් අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.

ග්‍රාම නිලධාරින් විසින් ලබා දෙන සියලු අයදුම්පත්‍ර ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පෙබරවාරි මස 25 වෙනිදා වන විට නිසි පරිදි ලේඛණගත කළ යුතුයි. මෙම රැකියා සඳහා සුදුසුකම් ලබන අයවළුන් තෝරා ගැනීම සඳහා බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් පෙබරවාරි මස 26 වෙනිදා සිට දින 05ක කාලයක් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී හෝ ඔවුන් නම් කරනු ලබන ස්ථානවලදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තෝරා ගනු ලබන අයදුම්කරුවන්සඳහා වන පත්වීම් ලිපි බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් ලබාදෙනු ලබන අතර මාර්තු මස 02 වෙනිදා රැකියා පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව ඇත.

පුහුණුවීම් කාල සීමාවේදී රුපියල් 22,500/- ක වැටුපක් රජය විසින් ගෙවන අතර පුහුණුවීම අවසන් වන ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථිර සේවකයින් ලෙස සේවයට අනියුක්ත කරනු ලැබේ.

මෙම රැකියා අවස්ථාවන් සඳහා සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 18-45 ක් වන අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) ට පහළ  අධ්‍යාපනයක් ලබා සිටින පුද්ගලයින් පමණක් බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරන්නේ.

රැකියා සඳහා තෝරා ගනු ලබන පුද්ගලයින්ට තමන්ගේ ස්ථිර පදිංචියට ආසන්නයෙන්ම රැකියා සඳහා අනියුක්ත කෙරෙන අතර විනය, සේවාවේ ගුණාත්මක භාවය අනුව විදෙස් රැකියා සඳහා තෝරා ගැනීම සිදුකිරීමට නියමිතයි.