Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය ගැන කටුනායක ගුවන් තොටුපළ සුපරික්ෂාවෙන් 




නව කොරෝනා අසාධිතයින් හදුනා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළෙ සවි කර තිබෙන තර්මල් ස්කෑනර් යන්ත්‍ර සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (23) පරීක්ෂා කළා. නව කොරෝනා අසාධනය සීඝ්‍රයෙන් පැතිර යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියළු සංචාරකයින් මෙම ස්කෑන් යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීම නියමිතයි.

චිනයෙන් පැතිර යාම ආරම්භ වු නව කොරෝනා අසාධනය මේ වන විට තවත් රටවල් කිහිපයකට ව්‍යාප්ත වී තිබෙනවා. අමෙරිකාවෙන්ද නව කොරෝනා අසාධිතයෙකු හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව කොරෝනා අසාධනය තම රටවලට ඇතුළු වීම වලක්වා ගැනීම සඳහා රටවල් ගණනාවකම ප්‍රධාන ගුවන් තොටුපළවල මේ වන විට පරීක්ෂා කිරීම් සිදුවනවා. උතුරු කොරියාව සංචාරකයින් සඳහා සිය දේශ සීමා වසා දැමීමටද පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩදුරටත් පැවසුවේ.

ඒ අනුව නව කොරෝනා අසාධනය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වලක්වා ගැනීම සඳහා ගෙන ඇති පියවර මොනවාදැයි නෙත් නිවුස් විමසීමක් කළා. පසුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග කටුනායක ගුවන් තොටුපළ පරිපාලකයින් සමග වහාම සාකච්ඡා කළ අතර නව කොරෝනා අසාධිතයින් හදුනා ගැනීම සඳහාා තර්මල් ස්කෑනර් යන්ත්‍ර ස්ථාපණය කරන්නැයි ගුවන් තොටුපළ පරිපාලකයින්ට අමාත්‍යවරයා උපදෙස් දුන්නේද එහිදීයි.

මේ අතර නව කොරොනා ආසාධිතයෙකු යැයි සැකකරමින් චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයක සිටි වයස අවුරුදු 03ක දරුවෙකු ඊයේ (22) රාත්‍රීයේදී කොළඹ අයි ඩී එච් උණ රෝහලට ඇතුළත් කෙරුණා. එහෙත් එම දරුවා නව කොරෝනා ආසාධිතයෙකු නොවන බවයි පසුව කළ පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ.