Friday, March 29, 2024

General line - 0115112241

 කිරිපිටි ආනයනකරුවෝ පදනම් විරහිත චෝදනා හෙළා දකිති




නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි පරිභෝජනය කිරීම සෞඛ්‍යයට හානිකර බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනා සම්බන්ධයෙන් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා, මැලිබන් මිල්ක් ප‍්‍රඩක්ට්ස් සහ ඩයමන්ඞ් මිල්ක් ප‍්‍රඩක්ට්ස් යන සමාගම් සිය දැඩි කනස්සල්ල පළකර සිටිනවා. 

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර අනවශ්‍ය බියක් හා නොසන්සුන්තාවක් ඇතිවීම වැළැක්වීම සඳහා වහාම සත්‍යය හා ප‍්‍රබන්ධ අතර වෙනස වටහාගත යුතු බව එම සමාගම් අවධාරණය කර සිටී.

කිරිපිටි මගින් පිළිකා ඇතුළුව තවත් රෝග ඇතිවන බවට පදනම් විරහිත ප‍්‍රචාරයන් සිදුකෙරෙමින් පවතින බවත්, මේ සඳහා කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් කිරිපිටි ආනයනකරුවෝ පෙන්වා දෙති. කිරිපිටි නිසා පිළිකා ඇතිවන බවට පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි කිසිවක් මෙතෙක් ලොව කිසිදු සෞඛ්‍ය අධිකාරියක් ඉදිරිපත් කර නැත. මීට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයද ඇතුළත් වන අතර, මෙම සංවිධානවල ඇතැම් වාර්තා මෙම අසත්‍ය ප‍්‍රචාර සඳහා වැරදි ලෙස යොදාගෙන ඇති බවද කිරිපිටි ආනයනකරුවෝ අවධාරණය කරති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ චෝදනාවලට පදනම් වී ඇත්තේ ‘World Alliance for Breastfeeding Action’ (WABA, 2012) මගින් නිකුත් කරන ලද වාර්තාවක් විය හැකි බව ආනයනකරුවන්ගේ පෙන්වා දෙති.  මෙම වාර්තාව WABA වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක. මෙම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ විකල්ප භාවිතා කිරීම වෙනුවට මවුකිරි දීම මගින් ලෙඩරෝග සඳහා වැඩි ආරක්ෂාවක් ලැබීමට හැකි බවයි.

ඉහත සඳහන් සමාගම් කිසිවක් ශ‍්‍රී ලංකාවට මවුකිරි සඳහා වන ආදේශක ආනයනය නොකරන බවත්, WABA වාර්තාවේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැති බවත් එම සමාගම් පෙන්වා දෙයි. සම්පූර්ණ යොදය සහිත කිරිපිටි යනු මවුකිරි සඳහා කිසිසේත්ම ආදේශකයක් නොවේ.

ආනයනය කරනු ලබන කිරිපිටි නිෂ්පාදනයේදී විවිධ රසායන ද්‍රව්‍ය එක්කරන බවට වන චෝදනාද පාරිභෝගික සේවා අධිකාරියේ අන්තර්වාර වාර්තාව මගින් අසත්‍ය බවට සනාථ වී ඇති බව කිරිපිටි ආනයනකරුවෝ පෙන්වා දෙති. ජර්මනියේ ස්වාධීන රසායනාගාරයක් වන Eurofins මගින් සිදුකරන ලද පරීක්ෂණ මගින්, නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි වලට බාහිර ද්‍රව්‍ය මිශ‍්‍ර වී ඇති බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව එම අන්තර්වාර වාර්තාවේ දක්වා තිබේ. ආනයනකරුවන් සඳහන් කළේ මෙම කාරණය නොසලකා හැර, විවිධ අදහස් තහවුරු කිරීම සඳහා මෙම වාර්තාව වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.

තවද මේදය එක්කළ කිරිපිටි ශ‍්‍රී ලංකාවට ආනයනය කරන බවටද තවත් අසත්‍ය චෝදනාවක් නැගී ඇත. නවසීලන්තයේ වෙබ් අඩවියක දක්වා තිබූ කරුණක් වරදවා අර්ථ දක්වා ගැනීම ඔස්සේ මෙම චෝදනාව නගා තිබේ. මෙහිදී ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හෝ රේගුවෙන් කරුණු විමසීමට චෝදනානගන්නන් උත්සාහ දරා නැති අතර, එසේ විමසුවේ නම් මෙම සමාගම් විසින් ශ‍්‍රී ලංකාවට මේදය එක්කළ කිරිපිටි ආනයනය කිරීම සිදුනොකරන බවට පහසුවෙන් තහවුරු කරගත හැකිව තිබිණි.

මේ ආකාරයට නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනා එල්ල කිරීම තමන් ප‍්‍රතික්ෂේප කරන බව කිරිපිටි ආනයනකරුවෝ පවසති. ඔවුන් අවධාරණය කරන්නේ තමන් කිරිපිටි ආනයනය කිරීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ නීති හා රෙගුලාසි දැඩිව පිළිපදින බවයි. එමෙන්ම කිරිපිටිවල පවතින කිසිදු ආකාරයක ගැටලූවක් සමබන්ධයෙන් ආහාරපානවලට අදාළ කිසිදු නිසි බලධාරී ආයතනයක් මේ වනතෙක් ආනයනකරුවන් වෙත නිල වශයෙන් කරුණු දක්වා නැත. එම නිසා, ජනතාව අතර අනවශ්‍ය බියක් ඇතිකරමින් නැගෙන මෙම චෝදනා වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, එම චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් කිරිපිටි ආනයනකරුවන් අවධාරණය කරති.

ආනයනික කිරිපිටි නිරන්තරයෙන් නියමිත නීති හා රෙගුලාසිවලට අනුකූල බව තහවුරු කිරීමට ශ‍්‍රී ලාංකේය බලධාරීන් විසින් අඛණ්ඩ පරීක්ෂණ සහ අධීක්ෂණ සිදු කරනු ලබයි. ආනයනික කිරිපිටි රට තුලට ගෙන ඒමට අනුමැතිය ලැබීමට පෙර, එයට අදාලව ක‍්‍රියාත්මක වන දැඩි ආනයන නිෂ්කාශන පටිපාටි සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයයේ රසායනාගාර සහ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් සිදු කරන පරීක්ෂණ ක‍්‍රියාවලීන් ද මෙයට ඇතුළත් වේ.