Wednesday, April 24, 2024

General line - 0115112241

ගුවන් තොටුපල රැකවල් මගහැර පළා ආ උණ වැළඳුනු චීන කතක් ප්‍රංශයේදී කොටුවෙයි




ගුවන් තොටුපළ තුල සිදුකෙරෙන පරීක්ෂණ මගහැර චීනයේ උහාන් ප්‍රාන්තයේ සිට පැරිස් අගනුවරට පැමිණ සිටි චීන කාන්තාවක් ප්‍රංශයේ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් සිය භාරයට ගෙන තිබෙනවා. උහාන් ප්‍රාන්තයෙන් පළා එන විට මෙම කාන්තාවට උන සහ කැස්ස වැලඳී තිබී ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් විවිධ ඖෂධ වර්ග පානය කර සිය රෝගී තත්ත්වය සගවා චීනයේ ගුවන් තොටුපළ තුළ සිදුකෙරෙන පරික්ෂණවලින් මෙන්ම ප්‍රංශ ගුවන් තොටුපළින් ද සිය රෝගී තත්ත්වයන් වසන් කර ගනිමින් ප්‍රංශයට පැමිණීමටයි ඇය සමත්වී ඇත්තේ. 

පසුව ඇය පැරීසියේ පිහිටි අවන්හලකට පැමිණ ආහාර පාන ඇනවුම් කර ඒවා සමාජ මාධ්‍ය ජාල තුළින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. එම ඡායාරූප හරහා ඇය පවසා ඇත්තේ තමා දින 02 ක් පුරා කුසගින්නේ සිටි තමන් උහාන් ප්‍රාන්තය අතහැර පැමිණි නිසා මෙලෙස හොදින් ආහාර පාන ලබාගෙන සිටින බවයි. ඇයගේ මෙම ක්‍රියාකලාපයට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විරෝධය පළවීමත් සමගයි ප්‍රංශයේ චීන තානාපති බලධාරින් මෙම කාන්තාව සොයා ගෙන තිබුණේ.

උහාන් ප්‍රාන්තයෙන් සිදු කෙරෙන ගුවන් ගමන් කටයුතු නවතා දැමීමට බලධාරීන් පියවර ගැනීම නිසා මෙම කාන්තාව ප්‍රංශයට පළා ආවේ කෙසේද යන්න මෙතෙක් හෙළිවී නැහැ. 

කෙසේවෙතත්, මෙම කාන්තාවට වැළඳී තිබූ උණ හා කැස්ස මේවනවිටත් පාලනය වී ඇති බව ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබෙනවා. චීනය තුළ ව්‍යාප්ත වෙමින් ඇති නව කොරෝනා වෛසරය හමුවේ මේවනවිට පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 830 ක්.