Friday, April 26, 2024

General line - 0115112241

ශෝක යෝජනා අතරේත් රංජන්ගේ හඬපට පාර්ලිමේන්තුවෙන් මතුවෙයි




පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක විසින් සිය දුරකථන සංවාද ඇතුළත් හඬපට සහිත සංයුක්ත තැටි පාර්ලිමේන්තු නිලධාරීන් වෙත භාරදී ඇති බවට පළවන ප්‍රවෘත්ති වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. එමගින් දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ තමා සතු හඬපට සභාගත කරන බවට ප්‍රකාශ කිරිමෙන් පසු සංයුක්ත තැටි කිහිපයක් රැගෙන රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මුණ ගැසී ඒවා භාරදීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති බවයි. 

එහෙත් එම සංයුක්ත තැටි නිල වශයෙන් භාරදීම සිදුකළ යුතු දෙපාර්තමේන්තුව වෙත මන්ත්‍රිවරයා යොමුකිරීමට මහලේකම්වරයා පියවර ගෙන තිබුණ ද පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක එම සංයුක්ත තැටි  භාර නොදී රැගෙන ගොස් ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එම සංයුක්ත තැටි යළි නිරීක්ෂණය කළ යුතු බැවින් ඒවා භාරනොදී රැගෙන යන බව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එහිදී වැඩි අවධානයක් යොමු වුණේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධවයි. මේ, අමාත්‍ය විමල් වීරවංශ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ද මෙහිදී අදහස් පළ කළා.

මේ අතර පාර්ලිමේන්තුව පෙබරවාරි මස 05 වනදා යළි රැස්වීමට නියමිතයි.