Thursday, March 28, 2024

General line - 0115112241

චීනයේ සිට පැමිණි සිසුන් 91 දෙනෙකු කෙලින්ම නිවස් වෙත

ටී කේ ජී කපිල - කටුනායක




චීනයේ සිට මෙරටට පැමිණෙන සිසුන් දියතලාව හමුදා කඳවුරේ රැදවීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර ඇතැයි යුද හමුදාව පවසනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිස මෙම කඳවුරේ රදවා තබන බවයි. 

මේ දක්වා කිසිදු පුද්ගලයෙකු හෝ සිසුවෙකු දියතලාව හමුදා කඳවුරට යොමු කර නොමැති බවයි බි්‍රගේඩියර් චන්දන වික්‍රමසිංහ කියා සිටියේ.  

මේ අතර ඊයේ (28) රාත්‍රියේ සිට මේ දක්වා චීනයේ ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 91 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය පැවසුවේ. එම සිසුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම හේතුවෙන් සිය නිවෙස් වෙත යෑමට කටයුතු සලසා දී තිබෙනවා. එහෙත් ඔවුන්ට කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ මතු වුවහොත්, වහාම ඔවුන්ට ළගම ඇති රෝහල වෙත යන ලෙසටයි වෛද්‍යවරුන් දන්වා ඇත්තේ.

කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්. පෙරේරා පැවසුවේ චීනයේ සිට රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳ දැනට අනුගමනය කරන ක්‍රමය අසම්පූර්ණ ක්‍රමයක් බවයි. මෙම සිසුන් සෘජුවම  චීනයේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන ආ යුතු බවත්, පසුව ගිලන් රථ මගින් දියතලාව රෝහල ආශ්‍රිත රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු බවත්, ඔහු ප්‍රකාශ කළා. එහිදී දින 10 ක් හෝ දින 14 ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්. පෙරේරා කියා සිටියේ.              

අදාල කාලයෙන් පසුව එම සිසුන් වෙතින් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් පමණක් ඔවුන් සිය නිවෙස් වෙත යොමු කල යුතු බව ඔහුගේ අදහසයි. 

චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන තවත් ගුවන් යානයක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.