Friday, April 19, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව පළමු වරට කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කරයි - ඖෂධයක් ගැනත් බලාපොරොත්තුවක්




ඔස්ට්‍රේලියාව පළමු වරට කොරෝනා වෛරසය සාර්ථකව ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මේ වන විට කොරෝනා පැතිරෙන වෛරසයට සියයට සියයක් සමාන වෛරසයක් මෙම විද්‍යඥයින් කණ්ඩායම සොයා ගෙන ඇති බවයි. 

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පළමු වරට ප්‍රතිනිර්මාණය කළ කොරෝනා වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දී තිබෙනවා. ඒ, ඖෂධයක් නිර්මාණය කිරීමට පහසුකම් සලසමින්. විද්‍යාඥයින් පැවසුවේ ප්‍රතිනිර්මාණය කළ කොරෝනා වෛරසය, මේ වන විට පැතිර යන කොරෝනා වෛරසය පාලනය සඳහා සැළකිය යුතු ඉදිරි පියවරක් වනු ඇති බවයි. චීනයද මීට පෙර කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ දැරුවද මේ වන විට පැතිරෙන වෛරසයට සියයට සියයක් සමාන වෛරසයක් ප්‍රතිනිර්මාණය කිරීමට හැකි වුයේ නැහැ.

මේ අතර එක්සත් ආරබී එමීර් රාජ්‍යයෙන්ද පළමු වරට කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු හමු වී තිබෙනවා. චීන පවුලකින් මෙම රෝගියා හදුනා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීට අමතරව ජර්මන් ජාතිකයින් සිව් දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ට මෙම රෝගය වැලදී ඇත්තේ ජර්මනියට පැමිණි චීන ජාතිකයෙකුගෙන් බවටයි විශ්වාස කෙරෙන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වාර්තාවන බව විදෙස් මාධ්‍ය අද අනාවරණ කළා. චීනය ඇතුළු රටවල් 16කින් මේ වන විටත් වෛරසය ආසාදනය වු බවට තහවුරු කළ රෝගීන් හමු වී තිබෙනවා.

චීනය තුළ පමණක් රෝගය තහවුරු කළ ඇති සංඛ්‍යාව මේ වන විට 6000කට ආසන්නයි. ගතවූ පැය 24ක කාලයක තුල පමණක් චීනයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති රෝගීන් 1500ක් සොයා ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් වැඩිම පිරිස හුබෙයි ප්‍රාන්ත වැසියන්. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගතවූ පැය 24ක කාලයක තුල පමණක් චීනය තුළ සිදු වූ තවත් මරණ 25ක් වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 132ක්.

මේ අතර රටවල් රැසක් දැනටමත් චීනය තුළ සිටින රට වැසියන් යළිත් සිය රටවලට ගෙන්වා ගැනීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා.