Tuesday, April 16, 2024

General line - 0115112241

ඉතාලිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි : දිනෙන් දින කොරෝනා රෝගීන් වාර්තාවන රටවල් සංඛ්‍යාව ඉහළට




චීන බලධාරින් හෙලි කරනු ලබන ගණනය කිරීම් වලට වඩා වැඩි පිරිසක් නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුලදීම මිය ගොස් ඇති බවට වුහාන් ප්‍රාන්තයේ සිටින ආදාහන සේවකයින් හෙලිදරව් කරනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනය තුල මිය ගොස් ඇති ගනන 213 ට වඩා වැඩි බවයි එම සේවකයින්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය පුවත් සේවයක් අද අනාවරණ කලේ. 

ආදාහනය සදහා තමන් වෙත රෝහල්වලින් දිනපතා මල සිරුරු ලැබෙන් බවත්, ඒ අතරින් ඇතැම් සිරුරු ආදාහනය කෙරෙන්නේ නිසි හදුනා ගැනීමකින් හෝ ගනනය කිරීමකින් තොරව බවත් එම ආදාහනාගාර සේවකයින් අනාවරන කර තිබෙනවා. ඒ අනුව බලධාරින්ගේ ලැයිස්තු ගත කිරීම් වලට වාර්තා නොවී ඇතැම් රෝගීන් මියයන බවයි පැවසෙන්නේ.

නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනෙක් හමුවීමත් සමග රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඉතාලි රජය පියවර ගෙන තිබෙනවා.

ඒ මිට දින කිහිපකට පෙර රෝමයේ සිට ඉතාලියට පැමිණ ඇති චීන ජාතිකයින් දෙදෙනෙකු නව කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී තහවුරුවීමත් සමග බවයි ඉතාලි අග්‍රාමාත්‍ය Giuseppe Conte ප්‍රකාශ කර සිටියේ.

මේ අතර නව කොරෝනා වෛරසය වැළදුණු පළමු රෝගීන් දෙදෙනා බ්‍රිතාන්‍යයෙන් හමුව ඇති බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටිනවා. එකම පවුලේ සාමාජිකයින් දෙදෙනෙක් වන මොවුන් නිව් කාස්ට්ල් හි පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයින් දෙදෙනා චීනයේ සිට වෙනම ගුවන් මගින් බ්‍රිතාන්‍යට පැමිණ ඇති බවයි හෙළිවී ඇත්තේ.

කොරෝනා වෛරසය වැලදී සිටින මෙම පුද්ගලයින් දෙදෙනා සමග පැමිණ ඇති මොවුන් දෙදෙනා සමග ඇසුරු කළ පිරිස් සොයා මේ වන විට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මේ අතර දකුණු කොරියාවේ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් පිරිස 11 දෙනෙක් දක්වා ද ජර්මනියෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 5ක්, ජපානයේ රෝගීන් 17ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ වන විට වුහාන් ප්‍රාන්තයේ සිටින සිය පුරවැසියන් 400 දෙනෙක් ඉවත් කර ගැනීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. වුහාන් හි සිටින සිය පුරවැසියන් ඉවත් කිරිමට දකුණු කොරියාව තවත් ගුවන් යානයක් පිටත් කර යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

චීනයට අමතරව ලොව අනෙක් රටවල් වලින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් වාර්තා වීම ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

චීනයෙන් පමණක් මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 9,709 ක් වනවා. මිට අමතරව රටවල් 23කින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 140 කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම අසිරු තත්ත්වයකට පත්වෙනු ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ. ඒ එම වෛරසය ශරීර ගතවීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගතවීම හේතුවෙන්.