Wednesday, April 24, 2024

General line - 0115112241

දියතලාව නිරෝධායන ඒකකයේ පිරිස අද විශේෂ පරීක්ෂාවකට




චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට රැගෙන ආ සිසුන් අද දිනයේ ද විශේෂ පරීක්‍ෂාවකට ලක් කිරීමට නියමිතයි. ඔවුන් මේ වනවිට රඳවා සිටින්නේ දියතලාව නිරෝධායන ඒකකයේයි.

ඒ අනුව විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පැය 24 පුරා දිනකට තුන් වරක් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සහ සෙසු ආසාධිත තත්ත්වයන් පරීක්‍ෂා කර ප‍්‍රතිකාර ලබාදෙමින් සිටින බවයි යුද හමුදාව පැවසුවේ.

නිරෝධායන ඒකකයේ සිටින සිසුවෙකු සඳහන් කළේ තමන්ට අවශ්‍ය සියළු පහසුකම් මෙන්ම යළි දෛනික ජීවිතයේ කටයුතු සිදු කිරීමේ අවස්ථාවද මේ වනවිට හිමි වී ඇති බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වු චීනයේ වුහාන් නගරයේ සිටි සිසුන් ඇතුඵ මෙම 33 දෙනා ඉකුත් සෙනසුරාදා විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපොලට රැගෙන ආවා. ඉන් පසුවයි ඔවුන් දියතලාව නිරෝධායන ඒකකය වෙත රැගෙන ඒමට කටයුතු කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ශී‍්‍ර ලංකාවෙන් මේ වනවිට ද වාර්තා වී ඇත්තේ එක් කොරෝනා ආසාධිත රෝගියෙකු පමණක් බවයි. චීන ජාතික කාන්තාවක් වූ ඇය සුව අතට පත්වී ඇති බව වෛද්‍යවරුන් පැවසුවා. කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කෙරෙන රෝගීන් 18 දෙනෙකු තවදුරටත් දිවයිනේ විවිධ රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. 

ඉන් සිව් දෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි. 7 දෙනෙකු මහනුවර රෝහලේත් තවත් තිදෙනෙකු කුරුණෑගල ශික්‍ෂණ රෝහලේත් ප‍්‍රතිකාර ලබනවා. තවත් සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු බැගින් ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ සහ කරාපිටිය ශීක්‍ෂණ රෝහලේයි.