Saturday, April 20, 2024

General line - 0115112241

යොවුන් ලෝක කුසලාන පිටියේදී මහත්වරුන්ගේ ක්‍රීඩාවට කළු පැල්ලමක් එක්වෙයි




ප්‍රබල ඉන්දීය යොවුන් පිළ පරාජය කරමින් බංග්ලාදේශ යොවුන් පිළ පළමු වරට යොවුන් ලෝක කුසලානයක් දිනාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. කෙසේවෙතත් මෙම තරගය ඊයේ (09) අවසන් වූයේ මහත්වරුන්ගේ ක්‍රීඩාවට කළු පැල්ලමක් එක් කරමින්.

ඊයේ පැවති අවසන් මහා තරගය නිමාවීමත් සමග බංග්ලාදේශ සහ ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් අතර පිටියේදී මෙම ගැටුම නිර්මාණය වීම ඊට හේතුව වුණා. තරගය අවසානයේ ජයග්‍රහණය සමරමින් ක්‍රීඩා පිටිය තුළට දිවආ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් ආවේගශීලිව හැසිරුණු ආකාරයක් මෙහිදී දක්නට ලැබුණා. එහිදී ඉන්දීය යොවුන් ක්‍රීඩයින් සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් පැවති බවයි වීඩියෝ දර්ශනවලින්ද දක්නට ලැබුණේ.

ඉන්දීය යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සිය ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගණයෙන් ඉවත් වන ලෙසට කළ සංඥාවක්ද තරගයේ සජීවී දර්ශන තුළ විකාශය කෙරුණා. අවසන් මහා තරගයෙන් පසු පිටියේදී සිය ක්‍රීඩකයින් අතින් සිදුවු මෙම අනිසි ක්‍රියාව පිළිබද තමන් ඉන්දීය යොවුන් ක්‍රිකට් පිළෙන් සමාව අයැද සිටින බවයි බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ නායක අක්බාර් අලී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

අවසන් මහා තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ග්‍රැහැම් ලැබ්රෝයි සදහන් කර සිටියේ මෙම සිදුවීම තමන් බැරැරුම් ලෙස සළකන බවයි. 

ඉන්දු - බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් අතර අවසන් මහා තරගයෙන් අනතුරුව පිටියේ සිදුවන මෙම ගැටුම දැක්වෙන වීඩියෝවක් නෙත් ස්පෝර්ට්ස්මන් ෆේස්බුක් පිටුවේද ඇතුළත්.