Friday, April 19, 2024

General line - 0115112241

වසා දැමු වුහාන් නගරයෙන් පැන ගිය තරුණයා කිලෝමීටර් 900 ක් දුරකින් සොයා ගැනේ




මිට සති දෙකකට පමණ ඉහතදී වසා දැමු චීනයේ වුහාන් නගරයේ සිට පළා ගිය තරුණයෙකු ෂැංහයි හිදී අත්අඩංගුවට ගැනීමට එරට බලධාරීන් සමත්ව තිබෙනවා. 

සිය ආචාර්ය උපාධිය සම්පුර්ණ කර ගැනීම සඳහා අමෙරිකාව බලා යාමේ අරමුණින් එම තරුණයා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

නව කොරෝනා වෛරසය පළමුවෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ වුහාන් නගරය පසුගිය ජනවාරි මස අවසන් සතියේ සිට වසා දැමීමට එරට බලධාරින් පියවර ගනු ලැබුවා.

22 හැවිරිදි මෙම තරුණයා ඉකුත් පෙබරවාරි මස 08 වෙනිදා සිය උපන් නගරය වන වුහාන් සිට ෂැංහයි බලා යාමට ගමන් අරඹා තිබෙනවා. එසේ පැමිණි ඔහුට ට්‍රක් රථයක් හමුවී ඇති අතර එහි රියදුරා විසින් කිලෝමීටර් 930 ක් දුරින් පිහිටි ෂැංහයි නගරයට මොහුව රැගෙන විත් තිබෙනවා.

පුරා දිනක් ට්‍රක් රථයේ ගමන් කළ මෙම තරුණයා ෂැංහයි හි පිහිටි තට්ටු නිවස සංකීර්ණයක පිහිටි නිවසක් කුලියට ගෙන නවාතැන් ගෙන ඇත්තේ ඉකුත් 09 වෙනිදායි.

හිටි හැටියේ තම නිවාස සංකීර්ණයට පැමිණි අමුත්තා ගැන ඒහි සිටි නිවැසියන් ආරක්ෂක අංශ වෙත සිදුකළ දැනුම් දීමක් අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

තමන් වුහාන් සිට පැමිණියේ අමෙරිකාව බලා යාමට බවත්, ලබන මාර්තු මාසයේදී සිය ආචාර්ය උපාධි පාඨමාලාව ආරම්භ වන බැවින් දිගින් දිගටම වුහාන් නගරය වසා දමා තිබුණහොත් තමන්ට අමෙරිකාවට යාමට නොහැකිවෙතැයි යන බිය නිසා මෙම ගමන පැමිණි බව ඔහු පොලිසියට පවසා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ෂැංහයි පොලිසිය විමර්ශන ආරම්භ කිරිමෙන් අනතුරුව මෙම තරුණයා සහ ඔහුට උපකාර කළ බව කියන 30 හැවිරිදී ට්‍රක් රථ රියදුරා දින 14ක කාලයක් නිරෝදාන ක්‍රමවේදයකට යටත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග සියලුම අමෙරිකානු ගුවන් සේවා චීනය අතර සිය ගුවන් ගමන් තාවකාලිකව නතර කිරිමට පියවර ගනු ලැබුවා.

මෙම තරුණයා වුහාන් නගරය ආවරණය වන ප‍රිදී චීන ආරක්ෂක අංශ ක්‍රියාත්මක කර තිබෙන මුර කපොලු පසු කලේ  කෙසේද යන්න ගැන මේ දක්වා හෙළිවී නොමැති බවයි චීනයෙන් ලැබෙන වාර්තා සඳහන් කර සිටියේ.