Thursday, April 25, 2024

General line - 0115112241

ගුරුවරියන් දෙදෙනෙක් සිසුන් 07ක් ලවා එක් සිසුවෙකුට කළ අමානුෂික ප්‍රහාරය ගැන පරීක්ෂණ (PHOTOS)




අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේ ගුරුවරියන් දෙදෙනෙකුගේ අනුදැනුම හා උපදෙස් මත පාසල් සිසුන් 07 දෙනෙකු විසින් පොලූවලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා විසින් තම දරුවාට සිදුවූ අසාධාරණය පිළිබඳ ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි. 

ඉකුත් ජනවාරි 16 වැනිදා මෙම පහරදීම සිදුව ඇත්තේ අදාළ සිසුවා පාසලේ නිවාසාන්තර කී‍්‍රඩා උළෙලට සමගාමීව පැවැත්වෙන ශාරීරික අභ්‍යාස සංදර්ශනයේ පුහුණුවීම් සඳහා සහභාගී නොවීම හේතුවෙන්.

පාසලේ ගුරුවරියන් දෙදෙනෙකු ලබාදුන් උපදෙස් අනුව එම සිසුවාට පහරදී ඇත්තේ සම වයසේම පසුවන සිසුන් 07 දෙනෙකු විසින් බවයි අදාළ සිසුවාගේ පියා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වන්නේ.

පහරදීමෙන් පසු සිය දරුවා ඒ පිළිබඳ ගුරුවරියකට පැවසූ අවස්ථාවේ ඇය විසින් එම ස්ථානයේ සිටි තවත් ගුරුවරියකට වේවැලක් ලබාදී, දරුවාට නැවතත් පහරදීමක් සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන් වනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර ඇති බව ද පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ විසින් නිලධාරීන් 03 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත් කර තිබෙනවා.