Thursday, April 25, 2024

General line - 0115112241

ජපාන මුහුදේ රැඳවූ සුපිරි නෞකාවේ තවත් කොරෝනා ආසාදිතයන් 39 ක්




ජපාන මුහුදු සීමාවේ රඳවා තිබෙන සුඛෝපභෝගී ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 175 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු අද එම නෞකාවෙන් හඳුනා ගැනීමත් සමගයි. මෙම නෞකාවෙන් කොරෝනා ආසාදිතයින් පළමුවරට හඳුනා ගැනුණේ පසුගිය 03 වනදායි.

ඒ අනුව නෞකාවේ සිටින කාර්යය මණ්ඩලය ද සමග නෞකාව ටෝකියෝ අගනුවරට දකුණු දෙසින් පිහිටි යොකොහාමා වෙරළ තීරයේ රඳවා තබා නිරෝධායන කටයුතු සිදු කිරීමටයි ජපාන බලධාරීන් පියවර ගෙන ඇත්තේ. කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනෙන රෝගීන් කඩිනමින් නෞකාවෙන් ඉවත් කර රෝහල්ගත කිරීමට ද ජපාන සෞඛ්‍ය බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.

ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ රැඳී සිටින මුලු පිරිස 3,700 ක්. ඒ අතරින් 2,700 ක් මගීන් වන අතර 1,100 දෙනෙකු කාර්යය මණ්ඩල සාමාජිකයින් වනවා. 

මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1 115 ක්. ඒ අතරින් මරණ 1,113 ක් වාර්තා වන්නේ චීනයෙන්.  ඊයේ දිනයේ පමණක් චීනයෙන් කොරෝනා මරණ 97 කට වැඩි ගණනක් වාර්තා වී තිබෙනවා. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 45 171 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අතරින් 44 653 දෙනෙකු වාර්තා වන්නේ චීනයෙන්.