Saturday, April 20, 2024

General line - 0115112241

පාලනය කරගන්න බැරි වුනොත් ලොවපුරා සියයට 60 කට කොරෝනා වැළදෙනවා




පාලනය කිරිමට දරන ක්‍රමවේදයන් අපොහොසත් වුවහොත් ලෝක ජනගහණයෙන් සියයට 60 කට නව කොරෝනා වෛරසය වැළදීමේ අවධානමක් ඇති බව හොංකොං රාජ්‍යයේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානියා වන මහාචාර්ය Gabriel Leung අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටිනවා.

කොරෝනා වෛරසය වැලදීමෙන් මියගිය සංඛ්‍යාව රෝගයට ගොදුරුවී ඇති පිරිස හා සැසදීමේදී සියයට එකක අගයක් සේ පෙනුනත් මින් ඇතිවිය හැකි තත්ත්වය ඉතා බරපතල බවයි ඔහු පෙන්වා දෙන්නේ.

" වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිමට ගන්නා පියවර අසාර්ථක වුවහොත් එය ලොවපුරා ජනගහණයෙන් සියයට 60 කට වැළදීමේ හැකියාව තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් මියයන පුද්ගලයින් සංඛ්‍යාව දස දහස් ගානක් වේවි" මහාචාර්ය Gabriel Leung අනතුරු අඟවා සිටිනවා.

" වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට ලොවපුරා රටවල් විවිධ ක්‍රම යොදා ගනු ලැබුවත් මෙය අයිස් කන්දක් වගේ වෛරසයක්. අපිට පෙන්නේ ජලයෙන් මතුපිට පෙනෙන කොටස පමණයි. නමුත් නොපෙනෙන කොටස භයංකාරයි. මෙම වෛරසය නොනවතින රැල්ලක් මෙන් ලොවපුරා පැතිරී යා හැකියි. 

ඒ වගේම චීනය තම රටේ වෛරසයට ගොදුරුවූ පිරිස හා මියගිය සංඛ්‍යාවන් සම්බ්න්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදීමක් සිදුකරන්නේ නැහැ. මෙයත් එක්තරා ආකාරයේ ගැටළු සහගත තත්ත්වයක්" මහාචාර්ය Gabriel Leung ප්‍රකාශ කර සිටියා.

මේ අතර නම හෙළි කිරිමට අකමැති චීනයේ හුබෙයි ප්‍රාන්තයේ රෝහලක සේවය කරනු ලබන වෛද්‍යවරයෙක් කියා සිටින්නේ වෛරසය ආසාධිත වූ පුද්ගලයින්ට නියමිත පරික්ෂණ සිදුකිරිමට අවශ්‍ය වෛද්‍ය කට්ටල හිඟ කම නිසා රෝගීන් විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්වන බවයි.