Tuesday, April 23, 2024

General line - 0115112241

අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්න : මාර්ග තදබදයට පිළියම් යොදන්නැයි ජනපතිගෙන් උපදෙස් 




මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.  දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කඩිනමින් අවසන් කළයුතු බවත්, ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා.

ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවල් සහ පිළියන්දල මාර්ගවලකොළඹ දෙසට උදේ සවස පවතින වාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙනු ලැබුවා.

පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතු බවත් මාධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු තවත් ව්‍යාපෘතියක් වනවා. 

කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු රථ වාහනවලට උතුර, නැගෙනහිර සහ බටහිර පළාත්වලට කඩිනමින් පිවිසීමට හැකි බවත් ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම මෙහි අරමුණයි. මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවක් ඇති ආර්ථික කොරිඩෝවක් ඉන් නිර්මාණය වනවා.

ඉංගිරියේ සිට රත්නපුර දක්වා කි.මි 76ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගි මාර්ග පද්ධතියට එක් කෙරේ. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹේ. නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම අධික මාර්ගද තදබදයට විසඳුමක් වනවා.

අධික තදබදයක් ඇති වන ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් සහ උමං පිවිසුම් ඉදි කරන ලෙසත් ඒ අනුව දෙමටගොඩ, වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කළයුතු බව මෙහිදී ජනධිපතිවරයා අවධාරණය කර ඇත. එමගින් බොරැල්ල සහ රාජගිරිය මංසන්ධිවල තදබදයට විසඳුමක් ලැබෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

මාර්ග ඉදිකිරීමට සමගාමීව පොදු ප්‍රවාහන සේවාවන් දියුණු කළ යුතු බවත්, මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපබෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවාව විධිමත් කිරීම ගැන සාකච්ඡාවට බඳුන් විය.

නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව කොළඹට පිවිසෙන රථ වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම කෙරහි ද අවධානය යොමු විය. ව්‍යාපාරික ස්ථාන ස්ථාපනයේ දී  වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා විදුලි, ජල සහ දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවට ද උපදෙස් ලබා දෙන ලදියි.

මෙම සියලු ඉදිකිරීම් සදහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. 

මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරීන් සමග අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවා.