Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්




ජාතික වැටුප් ප‍්‍රතිපත්තියක් සම්පාදනය සහ කි‍්‍රයාත්මක කිරීම සදහා රජයට උපදෙස් ලබාදීම සහ සහයවීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවට අනුව පැවරී ඇති බලතල මත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම ජාතික වැටුප් කොමිෂන් සභාව ස්ථාපිත කර තිබෙනවා.

ජාතික වැටුප් කොමිෂන් සභාවට අයත් සාමාජිකයන් ගණන 15 ක්. චන්ද්‍රානි සේනාරත්න, ගෝඨාභය ජයරත්න, සුජාතා කුරේ, මදුරා වේහැල්ල, එම් එස් ඞී රණසිරි, වෛද්‍ය ආනන්ද හපුගොඩ, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න, අජිත් නයන කාන්ත ජාතික වැටුප් කොමිසමට පත් කළ සාමාජිකයින් අතර වනවා.

රවී ලියන්ගේ, සනත් එදිරිවීර, මහාචාර්ය රංජිත් සේනාරත්න, ඉංජිනේරු ආර් එම් අමරසේකර, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සිරී රණවීර සහ ඩබ්ලිව් එච් පියදාස ජාතික වැටුප් කොමිෂන් සභාවට පත් කළ සෙසු සාමාජිකයින්. 

රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ වැටුප් හා වේතනවල තිරසාරභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා එම අංශවල වැටුප්, වේතන ඇතුළු සියළු පාරිශ‍්‍රමික ව්‍යුහයන් සමාලෝචනය කරමින් සමස්ත රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ශ‍්‍රමබල අවශ්‍යතා යෝග්‍ය පරිදි සපුරාලීම මෙහි අරමුණ වනවා. 

ඵලදායී රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාමට හැකි වන වැටුප් හා වේතන සහ විවිධ දිරිකාරක ද ඇතුළත් යෝජනාවලියක් හඳුන්වාදීමට ද රජය අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.