Tuesday, April 23, 2024

General line - 0115112241

බීජිං අගනුවරට ඇතුළුවන පුද්ගලයින්ට චීන රජයෙන් කොන්දේසි




බීජිං අගනුවරට ඇතුළුවන සියලූ දෙනා දින 14 ක නිරෝධායන කි‍්‍රයාවලියකට ඉදිරිපත් විය යුතු බව චීනය පවසනවා.

රට තුළ තවදුරටත් පැතිර යන කෝවිඞ් 19 හෙවත්, නව කොරෝනා වෛරසය හේතුවෙන් චීන රජය මෙම තීරණය ගෙන ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව නව අවුරුදු නිවාඩුවට පිටතට ගොස් සිටියේ නම් යළි අගනුවරට පැමිණීමේදී ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියකට හෝ නිරෝධායන කටයුතු සිදුකරන මධ්‍යස්ථානයක් වෙත යොමු වන ලෙසයි බලධාරීන් ඉල්ලීමක් කර ඇත්තේ. 

මේ අතර අපි‍්‍රකානු කලාපයේ පළමු නව කොරෝනා ආසාධිතයා ඊජිප්තුවන් හමුවී තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ඔහු විදේශිකයෙකු වන බවයි. කෙසේවෙතත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකර නැහැ. 

මේ අතර කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනයවීමෙන් චීනයේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 1523 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයෙන් පමණක් චීනයෙන් මරණ 143 ක් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.  සමස්ථ ආසාධිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ 67,100 ක් ලෙසයි.

මේ අතර කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සහ මියගිය පුද්ගලයින් වෙනුවෙන් පවත්වන විශේෂ දිව්‍ය පුජාවක් කොටහේන , කොච්චිකඬේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද දහවල් පැවැත්වෙනවා. 

ඒ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්.