Thursday, April 25, 2024

General line - 0115112241

යුද හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට පාර්ශව රැසකගෙන් දැඩි විරෝධය




වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාව විසින් පැනවූ සංචාරක තහනමට පාර්ශව රැසක් විරෝධය පළ කරනවා. අමෙරිකාව ගත් මෙම තීරණයට රටේ ජනතාවගෙන් ද එල්ල වන්නේ දැඩි විරෝධයක්.

යුද්ධ හමුදාපතිවරයා හට අමෙරිකාව විසින් මෙලෙස සංචාරක තහනමක් පනවා ඇත්තේ යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේයි. යුද්ධය නිමා වී වසර 10 කට අධික කාලයක් ගතවී ඇති සමයක මෙවැනි පදනම් විරහිත චෝදනාවක් එල්ල කිරීම පිළිගත නොහැකි බවයි ජනතාව ද පෙන්වා දෙන්නේ. අමෙරිකාව සිදුකරන මෙම චෝදනාව තමන් ද ප්‍රතික්ෂේප කරන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර කියා සිටියා. 

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාව විසින් පැනවූ සංචාරක තහනම සම්බන්ධයෙන් ජාතික හිමිකම් සංගමය ද අදහස් පළ කළා. එහි සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කළේ අමෙරිකාව වෙනත් රටවලට සිදුකරන අතපෙවීම් වහා නැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

යුද්ධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමෙරිකාව පැනවූ සංචාරක තහනමට ප්‍රතිචාර දක්වමින් මෙරට විදේශ සබඳතා අමාත්‍යංශය පැවසුවේ අමෙරිකාව ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ලක් රජය දැඩි විරෝධය කළ කරන බවයි. 

ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාපතිවරයා ලෙස පත් කිරීමට හිටපු රාජ්‍ය ප්‍රධානියා කටයුතු කළේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි. එසේම ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව කිසිඳු යුද අපරාධ චෝදනාවක් නොමැති බව ද විදේශ සබඳතා අමාත්‍යංශය පවසනවා.

කෙසේවෙතත් ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාපතිවරයා ලෙස පත්වී මාස 06 ක් ගතවීමෙන් පසුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාපතිවරයාට එරෙහිව මෙලෙස සංචාරක තහනමක් පැනවීම ලක් රජයේ රජයේ දැඩි අවධානයට හා වික්ෂිප්තභාවයට කරුණක් බවයි විදේශ සබඳතා අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.