Thursday, April 25, 2024

General line - 0115112241

අගමැති සහ හිටපු ජනපති මෛත්‍රී අතර සාකච්ඡාවක් පස්වරුවේ




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (18) පස්වරුවේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් ද ඊට සහභාගී වීමට නියමිතයි.

එම සාකච්ඡාව අද පස්වරු 06.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ගොඩ නැගූ නව සන්ධානය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ගත වූ කාල වකවානුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් සුදුසුම තීරණය ගැනීමට ක්‍රියා කළ බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මත ගැටුමක් ඇති බවට හුවා දැක්වූ පාර්ශවවලට මේ වනවිට කදිම පිළිතුරක් ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසුවේ.