Thursday, April 25, 2024

General line - 0115112241

එකඟ වූ ලකුණට අනුමැතිය ගැනීම අද - අලියා අතහැරි හේතුවත් හෙළි වෙයි




ඉදිරි මහමැතිවරණය සඳහා හංසයා ලකුණින් ඉදිරිපත්වීමට අදාළ යෝජනාව අනුමැතිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත අද (19) ඉදිරිපත් කෙරෙනවා.

නව සන්ධානය හංසයා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන බවට ඊයේ (18) පස්වරුවේ අවසන් එකඟතාවකට පැමිණියා. ඒ, පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාව සඳහා රනිල් පාර්ශ්වය නියෝජනය කරමින් අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, රවී කරුණානායක, ජෝ්න් අමරතුංග සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහභාගී වුණා.

අනෙක් පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වූයේ සජිත් පේ‍්‍රමදාස, මලික් සමරවික‍්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර සහ කබීර් හෂීම් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්. 

මැතිවරණයට ඉදිරිපත් විය හැකි ලකුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ස්ථාවරය ද මෙහිදී අවධානයට ලක් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ ස්ථාවරය වන්නේ යම් පක්ෂයක ලකුණක් සන්ධානයකට ලබාදෙන්නේ නම් එම ලකුණ යළි එම පක්ෂයට භාවිත කළ නොහැකි බවයි. ඒ අනුවයි හංසයා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත්තේ.