Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් ගැලවුණු චීන කත තුති පුදා දිවයිනෙන් නික්ම යයි

ටී කේ ජී කපිල - කටුනායක




කොරෝනා වෛරසය ආසාදිතව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන් සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද පස්වරුවේ   සිය රට බලා පිටත්ව ගියා. ලූඕ යාන් නමැති 43 හැවිරිදි එම කාන්තාව පස්වරු 5.35 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් ඇය ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා. 

අද දහවල් එම කාන්තාව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් කටුනායක බලා පිටත්ව යාමට පෙර තමන්ට ප්‍රතිකාර කළ සියළු දෙනාට විශේෂ ස්තුතියක් පුද කළා. ඇය රෝහලෙන් පිටව යන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිද එක්ව සිටීම විශේෂත්වයක් වුණා.  

රෝහලෙන් පිටව යාමට පෙර ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් සුව කිරිම සඳහා සියලු දෙනා දැක්වූ සහයෝගයට ස්තූතිය පළ කරන බවයි. දින 26 ක කාලයක් තමා රෝහලේ නේවාසිකව සිටි බවත්, ප්‍රතිකාරවලට පමණක් සීමා නොවූ සුදහශීලී සත්කාරයක් තමන්ට හිමිවූ බවත් ඇය එහිදී කියාසිටියා. එමෙන්ම තමන්ට උපකාර කළ සියලු දෙනා මුණගැසීමට යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.