Tuesday, April 16, 2024

General line - 0115112241

වැඩි බදු හා අමතර අය කිරීම් අත්හිටුවන්නැයි පළාත් පාලන බලධාරීන්ට ජනපති උපදෙස්




අමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත් හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් පාලන බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

සමස්ත පළාත් පාලන අනුපාත සහ ගෙවීම් ව්‍යුහය විමර්ශනය කොට අද (19) දින සිට දින 30ක් ඇතුළත එය සරල කරන ලෙසයි ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

ජනාධිපතිතුමාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් සියලුම ආණ්ඩුකාවරුන්ට සහ ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

රටේ සමස්ත බදු සහ බදු නොවන පද්ධති සරල කිරීමට රජය උත්සාහ ගන්නා අතර ජන ජීවිතය පහසු කිරීම, ගනුදෙනු පිරිවැය අඩු කිරීම, දූෂණ සහ අක්‍රමිකතා පිටු දැකීම සහ කුඩා ආයතනවල සිට මහා පරිමාණ සමාගම් දක්වා ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු අරමුණු ජය ගැනීම ඉන් අපේක්ෂා කෙරේ.

රජයේ සමස්ත සංවර්ධන දැක්ම සහ ඊට පාදක උපාය මාර්ග අඩාලකරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන විවිධ බදු, අනුපාත සහ අයකිරීම් පුළුල් කරන බව පෙනී ගොස් ඇතැයි  ලේකම්වරයා සිය නිවේදනයෙන් කියා සිටියි.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් පනවා ඇති බහු අනුපාත බදු සහ ගෙවීම් වෙනුවට ජන ජීවිතය පහසු කිරීමට සරල, පාරදෘෂය හා දැරිය හැකි අයකිරීම් ව්‍යුහයක් හඳුන්වාදෙන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබේ. 

විමධ්‍යගත පාලන ඒකකවල ආදායම් අවශ්‍යතා රජය පිළිගන්නා නමුත් මුල්‍ය විමධ්‍යගතකරණය සහ ආදයම් බෙදාගැනීමේ ක්‍රමවේදය ජාතික ප්‍රතිපත්ති ව්‍යුහය සමග සමපාත විය යුතු බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වාදී ඇත.