Wednesday, April 17, 2024

General line - 0115112241

30/1 යෝජනාවෙන් ඉවත්වීම ගැන එජාපයේ සහ ජවිපෙ මතය




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු 30/01 යෝජනාවෙන් ඉවත්වීමට වත්මන් රජය ගත් තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත් රජයේ නියෝජිතයන්ගෙන්ද විමසීමක් කළා.

ඊට පිළිතුරු දෙමින් ඉකුත් රජයේ කැබිනට් නොවන අමාත්‍යවරයෙකුව සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ප‍්‍රශ්නගත 30/1 සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු තවත් යෝජනා කිහිපයකට සම අනුග‍්‍රාහකත්වය දැක්වීමට එවක තීරණය කෙරුණේ සත්භාවයෙන් බවයි.

කෙසේවෙතත් වත්මන් රජයේ විදේශ ප‍්‍රතිපත්තිය ඉකුත් රජයට වඩා වෙනස් වන බැවින් එම 
සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත්වීමට ඔවුන් ගත් තීරණය අභියෝගයට ලක් නොකරන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවා.

ප‍්‍රශ්නගත 30/1 යෝජනාව සම්බන්ධයෙන් වත්මන් රජය ගනු ලැබූ තීරණය විමතියට කරුණක් නොවන බවද මෙහිදී විස්තර කෙරුණා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන්ද විමසීමක් කළා. ඊට පිළිතුරු දුන් එහි මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ති‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ අදාළ යෝජනාවෙන් ඉවත්වීම හොඳ තීරණයක් ලෙස පිළිගන්නා බවයි.

ප‍්‍රශ්නගත 30/1 යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වන බවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනය කළේ ඊයේ (19) දිනයේයි.