Thursday, April 25, 2024

General line - 0115112241

පාසල් අධ්‍යයන චාරිකාවක් ගිය සිසුන්ගෙන් 04ක් දියේ ගිලී මරුට




ති‍්‍රකුණාමලය, ගෝමරන්කඩවල, මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී පාසල් සිසුන් 4 දෙනෙකු ඊයේ (19) පස්වරුවේ දියේ ගිලීමෙන් මියගියා.

තවත් සිසුන් තුන් දෙනෙකු බේරා ගැණුනු අතර ජලය පෙවී තිබීම හේතුවෙන් අසාධ්‍ය වී සිටි ඔවුන් රෝහල් ගත කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

බදුල්ල, හාලිඇල විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඔවුන් අධ්‍යයන චාරිකාවක් සඳහා ති‍්‍රකුණාමලයට පැමිණ සිටි අයයි. බදුල්ල, හාලිඇල විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 89 දෙනෙකු මෙම අධ්‍යයන චාරිකාව සඳහා ති‍්‍රකුණාමලයට පැමිණ තිබෙනවා.

ඔවුන් ඊයේ නතර වී ඇත්තේ මැදවච්චිය ප‍්‍රදේශයේ විහාරස්ථානයකයි. ඒ අතර දියනෑම සඳහා ඔවුන් මැදවච්චි වැවට ගොස් තිබෙනවා.

මේ අතර මොරවක, පිටබැද්ද, ඇතෑමල ඇල්ලේ දියනෑමට ගිය තරුණයෙකුද ඊයේ පස්වරුවේ දියේ ගිලීමෙන් මියගියා. මෙලෙස මියගොස් ඇත්තේ විනෝදය සඳහා ඇතෑමල ඇල්ලේ දියනෑමට ගිය මිතුරන් පිරිසකගෙන් එක් අයෙක්.

ඔහු 22 වන වියේ පසු වුණා. මිතුරන් පිරිසේ තවත් දෙදෙනෙකුද දියේ ගිලී ඇති නමුත් ප‍්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන තිබෙනවා. අනතුරට ලක්වූ මෙම මිතුරන් පිරිස බීමත්ව සිටි බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ.