Thursday, March 28, 2024

General line - 0115112241

කටුනායක අධිවේගී මාර්ගය විවෘත කෙරේ  (UPDATE/VIDEO)

ටී.කේ.ජී.කපිල - කටුනායක




සීදුව ප්‍රදේශයේ තිබූ කසළ කන්දක් හදිසියේම ගිනි ගැනීම නිසා වසා දැමූ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයෙන් කොටසක් යළිත් අද සවස 6.00 ට පමණ රථ වාහන ගමනාගමනය සදහා විවෘත කළ බව අධිවේගී මාර්ග පොලීසියේ ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටිනවා.

එහෙත් මේ වනවිටත් කසළ කන්ද අවට දැඩි දුමාරයක් පවතින හෙයින් කටුනායක සිට කොළඹ දක්වා වන මංතීරුව රථ වාහන ගමනාගමනය සදහා විවෘත කර තිබෙන අතර කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන රථ වාහන වලට ජා-ඇල පිවිසුම දක්වා පමණක් මාර්ගය විවෘත කර තිබේ.

මේ අතර මෙම ගින්න නිවා දැමීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්යය බළකාය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියා කරමින් සිටියි.

................................................................................

කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් විවෘත කෙරේ (UPDATE/VIDEO)

(20-02-2020 17:48)

අද සවස 3.00 සිට වසා දමා තිබෙන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට ජා-ඇල දක්වා වූ කොටස යලි විවෘත කර තිබෙනවා. 

..............................................................................

කටුනායක ගින්න නිවන්න ගුවන් හමුදාව එක්වෙයි (UPDATE/VIDEO)

(20-02-2020 17:24)

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය අසල ප්‍රදේශයේ හටගෙන තිබෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.

...................................................

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය වසා දැමේ (UPDATE/VIDEO)

(20-02-2020 15:32)

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය අසළ සීදූව ප්‍රදේශයේ තිබූ කසළ කන්දක් හදිසියේම ගිනි ගැනීම නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය අද (20) දින දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ .

අද දින පෙරවරුවේ මෙම ගින්න හට ගෙන ඇති අතර එයින් නිකුත් වන අධික දුමාරය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මේ හේතුවෙන් කොළඹ සිට පැමිණෙන වාහන ජා - ඇල පිවිසුමෙන් පිටතට යොමු කළ අතර කටුනායක පිවිසුමෙන් වාහන වාහන ඇතුළු කිරීමද නවතා දමා මෙම ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළ ද එය අසාර්ථක වීමෙන් පසුව සවස 3.00 පමණ සිට පෑලියගොඩ සිට කටුනායක දක්වා වූ අධිවේගී මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

කටුනායක පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ගිනි නිවීම සදහා බලවත් පරිශ්‍රමයක් ගිනි නිවීම් අංශ දරමින් සිටියි.

..................................................................

කසල කන්දක ගින්නක් නිසා කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ

සිදුව ප්‍රදේශයේ කසල කන්දක් හදිසියේ ගිනි ගැනීම හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ කොටසක් වසා දමා තිබෙනවා. කටුනායක දෙසින් අධ්වේගී මාර්ගයට වාහන ඇතුල්වීම මේ වන විට නතර කර ඇති බවයි එහි නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

කොළඹ සිට කටුනායක දෙසට ගමන් කරන වාහන ජා-ඇල පිවිසුමෙන් පිටතට යොමු කරවන බවයි එහි නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

කසල කන්ද ගිනි ගැනීම නිසා කටුනායක අධිවේගී මාර්ගයේ 16 සහ 25.8 අතර කොටස වසා දමා ඇත.