Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා නිසා දකුණු කොරියාවේ නගරයකුත් අඩපණ වෙයි 




දකුණු කොරියාවේ පළමු නව කොරෝනා ආසාදිත මරණය ද අද උතුරු ග්යොන්ග්සන්ග් පළාතෙන් වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර ඬේගු නගරයේ දේවස්ථානයක පැවති දේව මෙහෙයකදී ඊට සහභාගී වූ පුද්ගලයින් 38 දෙනෙකුට කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ සමග ඬේගු නගරයට සෞඛ්‍ය අධි අවදානම් තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නගරයේ සිටින මිලියන දෙක හමාරකට අධික ජනතාවට සිය නිවෙස් තුළටම වී මුහුණු ආවරණ පැළඳ ආරක්ෂා සහිතව සිටින ලෙස ඬේගු නගරාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා ඇත්තේ නගරය තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බැවින් මෙම පියවර ගත් බවයි. 

මේ අතර ජපානයේ යොකොහාමා මුහුදේ නැංගුරම්ලා තිබෙන ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එම නෞකාවෙන් වාර්තා වූ පළමු මරණයන් ද මෙයයි. මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි වියේ පසු වූ ජපාන ජාතික පුද්ගලයෙක් සහ කාන්තාවක්. 

වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා පසුගිය සතියේ රෝහල්ගත කළ ද ආසාධ්‍ය තත්වයේ පසු වූ ඔවුන් අද මියගොස් ඇති බවයි විදෙස් වාර්තා ආනවරණ කළේ. නව කොරෝනා වෛරසයට අමතරව ඔවුන් තවත් රෝග කිහිපයකින් ද පීඩා විඳි බවයි ජපාන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත්, මෙම තත්වය හමුවේ ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ නිරෝධායන ක්‍රියාවලීන් නිසි පරිදි සිදු නොවන බවට බොහෝ දෙනා චෝදනා එල්ල කර තිබෙනවා.