Saturday, April 20, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ පළමු 'කොවිඩ් 19' මරණයෙන් පසු රෝගීයා සමග සබඳතා පැවැත්වූ 166ක් හඳුනා ගැනේ




දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගත් බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඒ, පළමු වරට දකුණු කොරියාවෙන්ද කොරෝනා හෙවත් කොවිඞ් 19 ආසාදිත මරණයක් වාර්තාවීමත් සමගයි.

මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි කාන්තාවක්. ඇය සමග සබඳතා පැවැත්වූ පුද්ගලයින් 166 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමටද දකුණු කොරියානු බලධාරීන් සමත් වී තිබෙනවා. 

මීට අමතරව දකුණු කොරියාවේ ඬේගු නගරයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් වාර්තාවීමත් සමග එම නගරය වසා දැමීමටද බලධාරීන් පියවර ගත්තා.

ඔවුන් සියළු දෙනා දේව මෙහෙයකට සහභාගි වූ අය බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ අනුව එම නගරයේ කිසිදු පුද්ගලයෙකුට නගරයෙන් බැහැරව යාමට නොහැකි බවත් නිවෙස් තුළටම වී කටයුතු කරන ලෙසටත් දැනුම් දී ඇතැයි සදහන්.

මෙම නගරයේ ජීවත් වන මුළු සංඛ්‍යාව මිලියන 2.5 කට අධිකයි.

අද වනවිට කොරෝනා හෙවත් කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් 76,202 දෙදෙනෙකු වාර්තා වනවා. ඉන් 75,000 ක් වාර්තා වන්නේ චීනයෙන්. මරණ සංඛ්‍යාවද 2,247 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 2,236 ක් වාර්තා වන්නේ චීනයෙන්.

කොරෝනා හෙවත් කොවිඞ් නයින්ටීන් ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාවද 18,221 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.