Friday, March 29, 2024

General line - 0115112241

කොඳෙව්-ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය අද (22) ආරම්භ වනවා. පළමු තරගය, දිවා තරගයක් ලෙසින් අද පැවැත්වෙන්නේ කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදීයි. එම කී‍්‍රඩාංගණයේ එක්දින තරගයක් වසර 3කට පසුව අද පැවැත්වීමද විශේෂත්වයක්.

දෙරට අතර මේ දක්වා එක්දින තරග 57ක් පවත්වා ඇති අතර ඉන් තරග 28ක් කොදෙව් කණ්ඩායම ජය ගැනීමට සමත්ව තිබෙනවා. ශී‍්‍ර ලංකා පිල කොදෙව් කණ්ඩායමට එරෙහිව ජය ලබා ඇති එක්දින තරග සංඛ්‍යාව 26ක්.

දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබෙනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 8 වන ස්ථානයේ පසුවන අතර කොදෙව් කණ්ඩායම පසුවන්නේ 9 වන ස්ථානයේයි. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ දක්වා කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ එක්දින තරග 39කට කී‍්‍රඩා කරමින් ඉන් තරග 23ක් ජය ගත්තා. කොදෙව් කණ්ඩායම එම කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 7කට කී‍්‍රඩා කරමින් ජය වාර්තා කර ඇත්තේ තරග 2ක් පමණයි.

දෙරට අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ මේ දක්වා එක්දින තරග 5ක් පවත්වා ඇති අතර එම තරග සියල්ලම ජය ගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත්ව තිබෙනවා.   

කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේ අවසන් වරට පැවැති එක්දින තරග 3 ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වීම ද විශේෂත්වයක්.

අද තරගයේදී නායක දිමුත් කරුණාරත්න සමගින් අවිශ්ක ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ කරන බවයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුුකරු මිකී ආතර් ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

කුසල් ජනිත් පෙරේරා අංක 3 පිතිකරු ස්ථානයේ කී‍්‍රඩා කරනු ඇති. අද තරගය පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතයි. කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ ප‍්‍රවේශ පත‍්‍ර කවුලූ පෙරවරු 7.00ට විවෘත කෙරෙන අතර කී‍්‍රඩාංගණයේ පිවිසුම් දොරටු පෙරවරු 7.45 ට විවෘත කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.