Wednesday, April 24, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය නිසා ලාංකිකයින් ගැන අවධානයෙන් : සියෝල් තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන සේවාවක් 




දකුණු කොරියාවේ පැතිර යමින් තිබෙන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් එහි වෙසෙන ලාංකිකයින් සම්බන්ධයෙන් සියෝල් හි පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය සමග එක්ව දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

සියෝල් හි පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තොරතුරු උපුටා දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ දකුණු කොරියාවේ සිටින කිසිදු ලාංකිකයෙකුට නව කොරෝනා වෛරසය ආසාධිතවී නොමැති බවයි. 

මේ වන විට 20,000 කට අධික ලාංකිකයින් පිරිසක් දකුණු කොරියාවේ සිටින අතර කොරෝනා වෛරසය පැතිරීයාම නිසා වර්ථමානයේ ගැටළු සහගත තත්ත්වයක් මතුවී සිටින ඩේගු නගරයේ ලාංකිකයින් 915 දෙනෙක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇත. ඔවුන් සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පිහිටි තානාපති කාර්යාලය දැඩි අවධානයෙන් පසුවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

මතුවී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඊට අමතරව එහි සිටින ලාංකිකයින් සමග සම්බන්ධතාවයන් පවත්වා ගෙන යාමට සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් ද පිහිටුවා ඇති අතර කොරියාවේ පිහිටි ලංකාවේ ආගමික ස්ථාන, සේවක ප්‍රජාව සහ ඉගෙනුම ලබන සිසුන් සමග සමීප සම්බන්ධකමක් පවත්වාගෙන යන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන සේවාවන් හි අංක පහතින් දැක්වේ : 

(0082)-2-735-2966, (0082)-2-735-2967, (0082)-2-794-2968