Thursday, March 28, 2024

General line - 0115112241

පාඨලි විදෙස් ගත වෙන්න අවසර ඉල්ලයි




2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා  ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින චම්පික රණවක මන්ත්‍රිවරයාට සහ ඔහුගේ රියදුරුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබුවා.

එහිදී චම්පික රණවක මන්ත්‍රිවරයා විදේශ ගත වීම සදහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහැරීමට ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම මාර්තු මස 04 දා සලකා බැලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝග කරන ලදී. සති දෙකක කාලයක් පුද්ගලික සංචාරයක් සදහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට චම්පික රණවක අවසර ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කිරීමට අවශ්‍ය බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් චම්පික රණවක මන්ත්‍රිවරයාගේ රියැදුරුගෙන්,  සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන්, සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් වශයෙන් සේවය කළ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පිරිසකගෙ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියා.

මීට අමතරව රිය අනතුර සිදුවූ දින රාත්‍රී 9.00 සිට අලුයම 3.25 දක්වා කාලසීමාව තුළ මෙහි පළමුවන සැකකරු වන චම්පික රණවක මන්ත්‍රිවරයා සහ ඔහුගේ රියැදුරු වශයෙන් කටයුතු කළ දෙවැනි සැකකරු වන තුසිත දිලුම් කුමාර යන අයගේ ජංගම දුරකථන වලින් ලබා ගත් සහ ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳව සවිස්තර වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ.
 
එම දුරකථන විශ්ලේෂණ වාර්තා පරික්ෂා කිරීමේදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් වශයෙන් කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනා ලබා දී ඇති ප්‍රකාශය අසත්‍ය බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.