Friday, April 19, 2024

General line - 0115112241

මාස 06 කට පෙර අනතුරු ඇගෙව්වා : මාරාන්තික වෛරසයෙන් මිලියන 80ක් මිය යාමේ අවධානමක් - ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරිනියක් හෙළිකරයි 




මනුෂ්‍ය සංහතියට දැඩි බලපෑමක් හැකි මාරාන්තික වෛරසයක් සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයින් කලකට පෙර සිට අනතුරු අඟවා තිබු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරියක් හෙළිකර සිටිනවා. මෙම අද්භූත රෝගය සඳහා "X" යනුවෙන් නම් තබා තිබුනේ අනාගතයේදී ඒ සඳහා නමක් ලබා දීම සඳහා බවයි Cell නම් වෛද්‍ය සඟරාව වෙත ලිපියක් යොමු කරමින් එම වෛද්‍යවරිය සඳහන් කර සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් රෝග විශේෂඥවරියක් ලෙස කටයුතු කරන මේරියන් කූප්මන්ස් මෙම හෙළිදරව්ව සිදුකර සිටින අතර, ඇය සඳහන් කලේ  "X රෝග" කාණ්ඩයට සම්බන්ධ බවට සැක කළ හැකි පළමු වසංගත රෝගය ලෙස කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විට පත්ව ඇති බවයි.

" මේ රෝගය ව්‍යාප්තවීම හරහා පෘථිවියේ වෙසෙන මනුෂ්‍ය සංහතියට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට වෛද්‍ය පර්යේෂකයින් මීට වසර දෙකක සිට අනතුරු අඟවා තිබුණා. X කාණ්ඩයට ගැලපෙන පළමු සැබෑ වසංගත ලෙස කොරෝනා වෛරසය අභියෝගයක් බවට පත්ව තිබෙනවා. 

නමුත් කොරෝනා වෛරස් පවුලේ මිට පෙර වාර්තා වූ සාර්ස්, මර්ස් වෛරසයන්ද ඇතුළුව ඉබෝලා, ලාසා, සීකා වැනි වෛරසයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා ලැයිස්තුවට එක් කර තිබෙනවා. ඒ මෙම වෛරසයන් හරහා මනුෂ්‍ය සංහතියට ඇතිවිය හැකි අවධානම අවම කර ගැනීම සඳහා වන පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදුකිරිමේ අවශ්‍යතාවයක් තිබීම නිසාවෙන්" ඇය සඳහන් කර සිටිනවා.

මේ වන විට උද්ගතව ඇති තත්ත්වයට වර්තමාන ගෝලීයකරණය වූ සමාජය මුහුණ දීමට සූදානම් වීය යුතු බව විශේෂඥ වෛද්‍ය මේරියන් කූප්මන්ස් සඳහන් කර සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන වෛද්‍ය ග්‍රෝ හාර්ලම් බ්‍රන්ඩ්ට්ලන්ඩ්ගේ නායකත්වයෙන් යුත් සෞඛ්‍ය විශේෂඥයින් ගෙන් සැදුම්ලත් Global Preparedness Monitoring Board (ගෝලීය පෙර සූදානම් අධීක්ෂණ මණ්ඩලය) එම වාර්තාව සකස් කරනු ලැබුවා. එම වාර්තාව මිට මාස 06 කට පෙර අනතුරු අඟවා තිබුණා වෛරස් උණ වැනි රෝගයක ව්‍යාප්ත වීමෙන් පෘථිවි ජන ගහණයෙන් මිලියන 50- 80 ත් අතර පිරිසක් මිය යා හැකි බවට.

මෙම තත්ත්වය වලක්වා ගැනීම සඳහා ලොව ප්‍රධාන පෙලේ රාජ්‍ය නායකයින්ගේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ අවධානයට එම සෞඛ්‍ය අංශ ප්‍රධානින් විසින්  වාර්තාව යොමු කරනු ලබමින් නිර්දේශ ඉදිරිපත් කර සිටියත් ඔවුන් කිසිවෙකු මෙම අනතුරු ඇඟවීම මායිම් නොකළ බවත් අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පෙළඹුනේ නැති බව වාර්තා වනවා.

කෙසේ වුවත් එම වෛද්‍ය විශේෂඥයින් ගේ වාර්තාව සත්‍යයක් බවට පත් කරමින් මේ වන විට කොරෝනා වෛරසය සිඝ්‍රයෙන් ලොවපුරා ව්‍යාප්ත වෙමින් ඇත.

මේ වන විට ලෝකයේ රටවල් 40 කින් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 80,000 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති අතර මරණ ගණන 2700 ඉක්මවා තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ.