Wednesday, April 24, 2024

General line - 0115112241

රාජිතගේ නඩුව කල් යයි 




පසුගිය ජනාධිපතිවරණය සමයේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මෙහොමඩ් යන අයට එරෙහිව පවරා තිබු නඩුව අප්‍රේල් මස 3 දා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළා . 

සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගී වූ සුදුවෑන් රියදුරන් බව පැවසුනු පුද්ගලයින් දෙදෙනාගේ කටහඬ සාම්පල, එම මාධ්‍ය හමුවේ හඬපටවලට සමාන බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව පැවසුවේ අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. 

මෙම කටහඬ සාම්පල සමාන බව රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් දැනුම් දුන් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා. 

කෙසේවෙතත් මාධ්‍ය සාකච්ඡාව හමුවේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය වෙනත් නඩුවක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත වී ඇති බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටියා.

එම සැකකරුවන් දෙදෙනා මීලඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා. 

සැකකරුවන් එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත යටතේ වන ප්‍රතිපාදන අනුව ඉදිරියේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දෙන ලදී . 

මෙම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුළු සැකකරුවන් මේ වන විට ඇප මත මුදාහැර ඇත.