Friday, March 29, 2024

General line - 0115112241

වන්දනාකරුවන්ට මක්කම තහනම් - සෞදියෙන් තීරණයක්




වන්දනාකරුවන්හට මක්කම පුදබිමට සහ මෙඩීනා නගරයට ඇතුලුවීම සෞදි අරාබිය විසින් තාවකාලිකව තහනම් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ සබඳතා අමාත්‍යංශය පැවසුවේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණීන් මෙම පියවර ගත් බවයි.

වෛරසය ව්‍යාප්ත වී ඇති අනෙකුත් රටවලට සහයෝගය පළ කිරීමක් ලෙස මෙලෙස සිය රට ද අනුමත ජාත්‍යන්තර ප්‍රමිති ක්‍රියාත්මක කරන බවයි සෞදි රජය පැවසුවේ. එසේම නව කොරෝනා වෛරසය ව්‍යාප්තවී ඇති රටවල් වල සිට සංචාරක වීසා පදනම යටතේ සෞදි පැමිණීම ද තාවකාලිකව අත්හිටුවීමට  සෞදි රජය තීරණය කර තිබෙනවා. නව කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ද සෞදි  රජය එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ. 

මේ අතර පකිස්තානයේ සින්ද් ප්‍රදේශයේ පිහිටි සියලු පාසල් අද සහ හෙට යන දෙදින තුළ වසා තැබීමට එරට රජය කටයුතු කර තිබෙනවා. ඒ එරටින් පළමුවරට නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි. ඔවුන් දෙදෙනාම ඉරානයේ සංචාරය කර පැමිණි පුද්ගලයින් බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව ඉරානයට මායිම් වන බලෝකිස්තාන ප්‍රාන්තය තුළ පිහිටි සියලු පාසල් මාර්තු මස 15 වනදා තෙක් වසා තැබීමට ද පකිස්තාන බලධාරීන් තීරණය කර තිබෙනවා.  

මේ අතර නව කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනයෙන් මේවනවිට දිනකදී වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයින් පිරිසක් චීනයෙන් පිටත අනෙකුත් රටවලින් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නව අදියරකට පැමිණ ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවනවිට ලොව පුරා රටවල් 48 කට ව්‍යාප්තවී තිබෙනවා. චීනය ද ඇතුළුව ලොව අනෙකුත් රටවලින් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 2804 ක්. ලොව පුරා සිටින නව කොරෝනා ආසාධිතයින් ගණන 82184 ක් වනවා. 

පවතින තත්ත්වය අනුව වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ලෝකය සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇති නමුත් මෙතෙක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එම සංවිධානය කිසිඳු පියවරක් ගෙන නැහැ.