Saturday, April 20, 2024

General line - 0115112241

සජින් වාස් මාර්තු 12 දක්වා රිමාන්ඩ්

අධිකරණ වාර්තාකරු




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධ මාර්තු මස 12 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නියෝගය සිදු කළේ විත්තිකරු නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් හට බලපෑම් කර ඇති බවට අධිකරණයේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී නීති විරෝධීව රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා මත සජින් වාස් ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවා.

 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට "කොස්මෝස්" යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවට නීතිපතිවරයා චෝදනා කර සිටියි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව එම ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් වූ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන එහි කොටස් ඔහුගේ බිරිඳ වෙත පැවරූ බව ප්‍රකාශ කළද ඔහු එම ව්‍යාපාර කටයුතු සදහා සක්‍රීයව දායක වී ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියි .

සජින් ද වාස් ගුණවර්ධන විසින් රුපියල් 306,268,194 ක මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇත.