Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් ගැලවෙන්න චීනය ජනතාවට සල්ලි බෙදයි




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය කල්තියා හඳුනාගන්නා පුද්ගලයින් හට මුදලින් ත්‍යාග පිරිනැමීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ, වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබේ පළාතට අයත් ක්වැන්ජිඇන් නගර බලධාරීන් විසින්.

ඒ අනුව යම් පුද්ගලයෙකු රෝග ලක්ෂණ කල්තියා හඳුනාගෙන ඒ පිළිබඳ දැනුම් දී, පසුව ඔහුට හෝ ඇයට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වුවහොත් එම පුද්ගලයා හට යුවාන් 10,000 ක් හෝ අමෙරිකානු ඩොලර් 1,426 ක මුදලක් පිරිනැමෙනු ඇති. 

මේ අතර යම් පුද්ගලයෙකු තමන්ට රෝග ලක්ෂණ ඇති බවට ඉදිරිපත් වී එම පුද්ගලයා හට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක මතුවුවහොත් එවැනි පුද්ගලයෙකු සඳහා ද යුවාන් 2,000 ක මුදලක් පිරිනැමීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. 

එසේම යම් පුද්ගලයෙකු තමන්ට කොරෝනා ආසාධනය වී ඇති බවට සැකපිට ඉදිරිපත් වී සිදුකෙරෙන පළමු පරීක්ෂණයේදී ඔහු ආසාධිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් එවැනි පුද්ගලයින් සඳහා යුවාන් 1,000 ක මුදලක් පිරිනමනු ඇති.

කෙසේවෙතත් චීන බලධාරින් මෙම පියවර ගෙන ඇත්තේ පාලනය කළ නොහැකි අන්දමින් රට තුළ පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය පාලනය කිරීමේ පියවරක් ලෙසයි.